logo

02

E   |     |  

 දිනය: 2026-06-25   පිළිතුර ලබා දී ඇත 

1977/2026: ආබාධ සහිත ක්‍රීඩකයින්: ක්‍රීඩා සහභාගිත්වය වැඩිදියුණු කිරීම

.

අසන ලද දිනය

2026-06-25

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික සංචිතයක් පවත්වා ගෙන යාමට කටයුතු කරනු ලබන අතර, ඔවුන් සඳහා අවශ්‍ය මාසික පෝෂණ දීමනාව සහ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

                        එමෙන්ම, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමේදී ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන - ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම්, වීසා යනාදිය - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමට කටයුතු කරනු ලැබේ. එමෙන්ම, පිළිගත් ජාත්‍යන්තර තරග ජයග්‍රහණවලදී ඔවුන් විසින් ලබා ගන්නා දක්ෂතා පදනම් කරගනිමින් මූල්‍යමය ත්‍යාග ලබා දීමට ද කටයුතු කරනු ලැබේ.

ආබාධ සහිත සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීම සහ ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවස්ථා සලසමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 26/2019 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය ද අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/9/18/2/3 හා 2026.04.24 දිනැති ලිපිය ද නිකුත් කර ඇති අතර, එම චක්‍රලේඛය මඟින් පාසල්, කලාප, පළාත් මට්ටමින් තරග පැවැත්වීමටත්, එම ජයග්‍රහණ ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ජාතික මට්ටමේ තරග පැවැත්වීමට ද කටයුතු සලසා ඇති බව එම අමාත්‍යාංශය මඟින් දැනුම් දී ඇත.

විවිධ ආබාධ සහිත සිසුන් සිටින බැවින් ඔවුන්ට පුළුල් සහභාගිත්ව අවස්ථා සැලසීම සඳහා පැරාලිම්පික් වර්ගීකරණයට අනුගතව පාසල් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා සඳහා ශිෂ්‍ය වර්ගීකරණය සිදුකර තරග පවත්වනු ලබයි. එම වර්ගීකරණය පහත පරිදි වේ.

1. ඔටිසම්

2. දෘෂ්ටි ඌනතා : පූර්ණ අන්ධ

අල්ප දෘෂ්ටික

3. ශ්‍රවණ ඌනතා

4. බුද්ධිමය ඌනතා

5. ඩවුන්සින්ඩ්‍රොම්

6. කායික ආබාධ :

P1    - රෝද පුටු

P2   - කිහිලිකරු

P3   - අත්වාරු

P4   - ‍වෝකර්

P5   - එක් අතක් වැලමිටට ඉහළින් හෝ පහළින් අහිමි/ඒ හා සමාන ආබාධිත තත්ත්වයන්

P6  - දෙඅත් වැලමිටට ඉහළින් හෝ පහළින් අහිමි/ඒ හා සමාන ආබාධිත තත්ත්වයන්

P7 - දණහිසට ඉහළින් හෝ පහළින් එක් පාදයක් අහිමි කෘත්‍රිම පාද පළඳින

P8   - දණහිසට ඉහළින් හෝ පහළින් දෙපා අහිමි කෘත්‍රිම පාද පළඳින

[අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 26/2019 දරන චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය ඇමුණුම 01 වශයෙන් ද, අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/9/18/03 හා 2026.04.24 දිනැති ලිපිය ඇමුණුම 02 වශයෙන් ද දක්වා ඇත.]

ඉහත වර්ගීකරණයට අමතරව වයස අවුරුදු 16න් ඉහළ ඔටිසම් සහිත සිසුන් සඳහා සියලු හිටිදුර තරග වෙනුවට දුර පැනීමේ තරග පැරාලිම්පික් තරගාවලියේදී සිදුකරන බැවින් විශේෂ අවශ්‍යතා සහිත පාසල් සිසුන්ට ද අංක 26/2019 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයට පරිබාහිරව මෙම තරගය ද පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇති අතර ජාත්‍යන්තර තරග සඳහා පුහුණුවක් ද එමඟින් ලැබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

(ii) දැනට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් ඉදිකර ඇති ක්‍රීඩා සංකීර්ණයන්හි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාවක් ඇත.

නමුත්, එම සංකීර්ණ සඳහා ප්‍රවේශ වීමට ප්‍රමාණවත් පහසුකම් -ඔවුන්ට අවශ්‍ය උපකරණ රැගෙන යාමට පහසුකම්- ස්ථාපිත කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් පවත්වා ගෙන යනු ලබන ජාතික සංචිත සඳහා තේරීම් තරග පවත්වන අවස්ථාවන්හිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඒ සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා දී ඇත.

ඉහත ඇමුණුම 01හි සඳහන් චක්‍රලේඛයට අනුව සෑම වර්ෂයකම පාසල්, කලාප, පළාත් මට්ටමේ තරග පැවැත්වීම සිදුකරනු ලබයි. එම තරගවලට සමගාමීව මෙම වර්ෂයට අදාළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වන ජාතික ක්‍රීඩා උළෙල 2027 පෙබරවාරි මස පැවැත්වීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය සඳහා විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල් සඳහා ක්‍රීඩා උපකරණ ලබා දීම ද එම අමාත්‍යාංශය විසින් සිදුකර ඇත.

ඊට අමතරව එම ක්‍රීඩා සඳහා විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සහ ක්‍රීඩා ගුරුවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් පුහුණු කර ඇත. එමඟින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නංවා ගැනීමටත්, ඒ සඳහා සහභාගිත්වය ඉහළ නංවා ගැනීමටත් අවස්ථාව ලැබී ඇත.

එසේම අදාළ ක්‍රීඩා තරග පැවැත්වීමේ දී විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ක්‍රීඩා සඳහා භාවිත කරන උපකරණ මෙන්ම, ඔවුන්ට යෝග්‍ය පරිදි ක්‍රීඩා පිටි සැකසීම ද සිදුකරනු ලබන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

  (iii) දැනට ඉදිකර ඇති සංකීර්ණයන් සඳහා ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රවේශ පහසුකම් අලුතින් ස්ථාපනය කිරීමට ඇති හැකියාව පිළිබඳව කටයුතු කරගෙන යනු ලබන අතර, අලුතින් ඉදිවන ක්‍රීඩා සංකීර්ණ සඳහා මෙම ක්‍රීඩක ක්‍රී‍ඩිකාවන්ට අවශ්‍ය ප්‍රවේශ පහසුකම් හා වෙනත් පහසුකම් සකස් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩා පිටිය සැකසීම සහ පරිසරය සැකසීම, ඒ සඳහා යෝජිත ක්‍රීඩා උපකරණ භාවිතය පිළිබඳ පළාත් සහ කලාප විශේෂ අධ්‍යාපන සහ ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ක්‍රීඩා උපදේශකවරුන්, ක්‍රීඩා ගුරුවරුන් සහ විශේෂ අධ්‍යාපන සම්පත්දායක ගුරුවරුන් පුහුණු කර ඇත.

විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල්වලට විශේෂ අධ්‍යාපන ක්‍රීඩා පුහුණුව සඳහා අවශ්‍ය උපකරණ යම් ප්‍රමාණයක්ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති අතර, නැවත ඉදිරි වර්ෂවල ප්‍රතිපාදන මඟින් අවශ්‍ය උපකරණ ලබා දීමට සැලසුම් කර ඇති බව දන්වා ඇත.

(ආ) (i)  ජාතික මට්ටමේ තරග සංඛ්‍යාව එකකි. (ජාතික පැරා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උළෙල ආර්ථික ගැටලු හමුවේ පසුගිය වර්ෂයේදී පැවැත්වීමට නොහැකි වූ බැවින් ජාතික මට්ටමේ තරග සඳහා විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට සහභාගි වීමට නොහැකි වූ බව එම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත. එසේම, කලාප හා පළාත් මට්ටමින් තරග මෙම වර්ෂයේදී පවත්වන බවත්, ජාතික ක්‍රීඩා උළෙල 2027 පෙබරවාරි මාසයේ පැවැත්වීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බවත් දැනුම් දී ඇත.

   (ii)   ජාතික පැරා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගතිය ඇමුණුම 03 මඟින් දක්වා ඇත.

ඇමුණුම් 01, 02 සහ 03 සභාගත* කරමි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව පළාත් මට්ටමින් ක්‍රීඩා කර ජයග්‍රහණ කළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් පැරාලිම්පික් ජාතික තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කර ඇත.

  • පැරාලිම්පික් ක්‍රීඩා තරග සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික වශයෙන් සහභාගිත්වය 25කි.
  • ඩුබායිහිදී ජාත්‍යන්තරව පැවති පැරාලිම්පික් ක්‍රීඩා තරග සඳහා ධාවන තරග, පිටියේ තරග සහ ටෙනිස් තරග සඳහා විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 8දෙනෙකු සහභාගි විය.
  • Deaflympic ක්‍රිකට් තරගාවලිය සඳහා රත්මලාන බිහිරි විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු සහභාගි විය.

(iii)    නිර්ණායක ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය අධ්‍යාපනය ලබන සිසුන් සඳහා පාසල්, කලාප, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරග පවත්වන අතර, විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට එම මට්ටම්වලින් තරග පවත්වා සමාන අවස්ථා සලසා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

එමෙන්ම, ආබාධ සහිත ශිෂ්‍ය වර්ගීකරණය යටතේ සිසුන්ට සහභාගි විය හැකි විවිධ වර්ගයේ තරග හඳුන්වා දී ඒ සඳහා තරග පැවැත්වීමෙන් සාධාරණ ප්‍රවේශයක් ලබා දී ඇත. එසේම එක් එක් තරග සඳහා ආවේණික ක්‍රීඩා උපකරණ ලබා දීම සිදු කර ඇති අතර, ඉදිරියට ඒවා ලබා දීමටද එම අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එසේම ක්‍රීඩා ගුරුවරුන්, ක්‍රීඩා උපදේශකවරුන්, විශේෂ අධ්‍යාපන සම්පත්දායක ගුරුවරුන් සහ අදාළ විෂය අධ්‍යක්ෂවරුන් මෙම ක්‍රීඩා සඳහා පුහුණු කිරීමට සාධාරණ අවස්ථා සලසා ඇත.

(iv) පැරා ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර වෛද්‍ය වර්ගීකරණයට අනුව සහ පැරා ක්‍රීඩාවන්ට අදාළව සම්මත පොදු නිර්ණායක අනුගමනය කරමින් අදාළ ක්‍රීඩා ඉසව් සඳහා සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගනු ලබන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

                        පහත සඳහන් නිර්ණායක අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත.

  • සෑම වර්ෂයකම පාසල්, කලාප සහ පළාත් තරග පැවැත්වීම.
  • එම තරග සඳහා කලාප, පළාත් සහ ජාතික වශයෙන් ප්‍රතිපාදන වෙන් කිරීම.
  • අදාළ වෘත්තීය පුහුණුව.
  • එක් එක් තරග සඳහා යෝජිත ක්‍රීඩා උපකරණ භාවිතය.

(v) ජාතික සංචිතයට නම් කර ඔවුන්ගේ පුහුණු කටයුතු ක්‍රමානුකූලව සිදු කරගෙන යමින් තම දක්ෂතාවන් වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කමිටුවෙහි අධීක්ෂණය යටතේ අවශ්‍ය පරිපාලන සහ තාක්ෂණික සහාය ලබා දීම මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කරනු ලබයි.

කලාප මට්ටමින් හඳුනා ගන්නා ලද දක්ෂතා සහිත සිසුන් පළාත් තරග සඳහාද, පළාත් මට්ටමින් ජයග්‍රහණය කරන ලද සිසුන් පැරාලිම්පික් ජාතික තරග සඳහාද, පැරාලිම්පික් ජාතික තරග ජයග්‍රහණය කරන ලද සිසුන් පැරාලිම්පික් ජාත්‍යන්තර තරග සඳහාද යොමු කරන අතර, මේ සඳහා අදාළ වෘත්තිකයන් පුහුණු කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

(ඇ) (i) දැනට ජාතික මට්ටමේ පුහුණුකරුවන් සහ උපදේශකවරුන් යටතේ පැරාලිම්පික් සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් කරගෙන යනු ලබන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 26/2019 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයට අනුව පවත්වන තරග සම්බන්ධව 2020 වර්ෂයේදී විශේෂ අධ්‍යාපන ගුරුවරුන් (සම්පත්දායක), සාමාන්‍ය අධ්‍යාපනයේ නිරත ක්‍රීඩා ගුරුවරුන් සහ ගුරු උපදේශකවරුන් පුහුණු කර පළාත් මට්ටමේ සම්පත්දායක සංචිත පිහිටුවා ඇත.

නව තරග කාණ්ඩ කිහිපයක් හඳුන්වා දීම සහ නව වෘත්තිකයන් පුහුණු කිරීම පදනම්ව මෙම වර්ෂයේ සියලුම පළාත්වල පුහුණුකරුවන්ගේ සංචිත ආරම්භ කිරීම සඳහා සියලුම පළාත් නියෝජනය වන පරිදි උක්ත වෘත්තිකයන් 62ක් සඳහා දින 10ක පුහුණු පාඨමාලාව අවසන් කර ඇති අතර, ඒ අනුව පළාත් පුහුණු සංචිතය මඟින් ඒ ඒ පළාත්වල අදාළ වෘත්තිකයන් පුහුණු කිරීමට යොමු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

(ii) ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් ජාතික තරගාවලියක් සංවිධානය කරනු ලබන අතර, ජාත්‍යන්තර වශයෙන් තරග රාශියක් සංවිධානය කරනු ලැබේ. (ආසියානු පැරාලිම්පික් තරගාවලිය, ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලිය, පැරාලිම්පික් තරගාවලිය)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 26/2019 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහයේ පිටු අංක 9 සිට 33 දක්වා ඔවුන් සඳහා වූ තරග වෙන් වෙන්ව දක්වා ඇත.

උදාහරණ:- Takkyu Volley

Bocce

Flying Disc

සමබර ඇවිදීම

කැට එකතු කිරීම

(iii) මෙම තරග සංවිධානය කරනු ලබන්නේ ආසියානු සහ ලෝක පැරාලිම්පික් කමිටුව මඟින් වන අතර, මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම, ඔවුන් සංචිතගත කර පුහුණු කටයුතු සිදු කරවීම වැනි කාර්යයන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාතික පැරාලිම්පික් කමිටුව මඟින් සිදු කරනු ලැබේ.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වූ කලාප සහ පළාත් මට්ටමේ ක්‍රීඩා තරග පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මඟින්ද, ජාතික ක්‍රීඩා තරග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්ද ක්‍රියාත්මක කෙරෙන බව එම අමාත්‍යාංශය විසින් දන්වා ඇත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-06-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks