E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1963/2026: පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ ඛාදනය වැළැක්වීම: ක්‍රියාමාර්ග

ගරු අජිත් ගිහාන් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බවත්;

             (ii)      ධීවර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයට බෝට්ටු හා තෙප්පම් තොටුපොළවල් මුහුදට ඛාදනයවී ගොස් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) වෙරළ ඛාදනය වළක්වා ගැනීම සඳහා ගල්වැටි ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(ii) වෙරළ සංරක්ෂණය සඳහා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාදීමට කටයුතු කරන්නේද;

(iii) දිවයින වටා වෙරළ ඛාදනය වීමට හේතු, විද්‍යාත්මක තොරතුරු සහ දත්ත ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)   (i), (ii)

                         ඔව්.

                         පුත්තලම දිස්ත්‍රික්කයේ අඹකඳවිල, උඩප්පුව, කරුකපනේ, කුඩාව-කල්පිටිය, ඉලන්තඩිය-ආලංකුඩා, කීරිමූන්දලම යන වෙරළ තීර ආශ්‍රිතව වෙරළ ඛාදන තත්ත්වයන් වාර්තා වේ. මෙමඟින්

                         පුත්තලම දිස්ත්‍රික්කය තුළ ධීවර හා සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල වී ඇත.

(ආ) (i) • ඔව්.

වෙරළාරක්ෂක ඉදිකිරීම් වැඩසටහන

2026 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය (රුපියල් මිලියන)

1. වාර්ෂික අයවැය ප්‍රතිපාදන

1.1. උඩප්පුව උතුර මීටර් 200.0 රිවට්මන්ට් බැම්ම ඉදිකිරීම

6.70

1.2. මූදුකටුව ධීවර තොටුපොළ T දියකඩන ව්‍යුහ ඉදිකිරීම

6.50

වෙරළාරක්ෂක ඉදිකිරීම් වැඩසටහන

2026 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රමාණය (රුපියල් මිලියන)

1.3. ඉරණවිල - අඹකඳවිල වෙරළාරක්ෂක ඉදිකිරීම

18.00

1.4. උඩප්පුව දකුණ (කෝවිල ඉදිරිපිට) මීටර් 200.0 රිවට්මන්ට් බැම්ම ඉදිකිරීම

32.10

1.5. ආරච්චිකට්ටුව, කරුකපනේ T දියකඩන ව්‍යුහ 2ක් ඉදිකිරීම

18.70

2. විශේෂ ප්‍රතිපාදන

2.1. මුතුපන්තිය කලපු මෝය ප්‍රතිස්ථාපනය (මෙය "දිට්වා සුළි කුණාටු" ආපදා ප්‍රතිසංස්කරණ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වේ.)

9.00

එකතුව

91.00

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

• ඉහත පරිදි රුපියල් මිලියන 91ක් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළාරක්ෂක ඉදිකිරීම් කටයුතු සඳහා 2026 වසරට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිපාදන වෙන් කොට ඇත.

• ඉලන්තඩිය - නොරොච්චෝලේ ප්‍රදේශයේ වෙරළ ඛාදනය පාලනය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ග්‍රොයින ව්‍යුහ 09ක් ඉදිකිරීම මඟින් ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කර ඇත. එහි දෙවන අදියර වශයෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ මූල්‍ය ප්‍රතිපාදන සහිතව තව ග්‍රොයින ව්‍යුහ 04ක් ඉදිකිරීමට නියමිතව ඇත.

• මීට අමතරව, කරුකපනේ T - දියකඩන ව්‍යුහ ඉදිකිරීම, දකුණු උඩප්පුව T - ග්‍රොයින බැමි ඉදිකිරීම, ඉරණවිල, අඹකඳවිල T - දියකඩන ඉදිකිරීම සඳහා 2027 වර්ෂයේදී යෝජිත වැඩ සැලැස්මට ව්‍යාපෘති ඇතුළත් කර ඇත. මෙමඟින් වෙරළ ඛාදන තත්ත්වයන්ට පිළියම් ද, ධීවර කටයුතු සඳහා අවශ්‍ය තොටුපොළ නිර්මාණය වීම ද යන කරුණු දෙකම ඉටු කර ගැනීම අරමුණ වේ.

(ii) • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව වීල් ලෝඩරයක් හා කියුබ් 03 ටිපර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53.0ක මුදලක් මෙම වසරේ අය වැය ප්‍රතිපාදන මඟින් වෙන්කර ඇත. එහි ප්‍රසම්පාදන කටයුතු අනුව, 2026.07.06 දින මිල ගණන් විවෘත කර ඇත. ඒ අනුව ඉදිරි කටයුතු සිදු කෙරේ.

• මීට අමතරව යන්ත්‍රෝපකරණ කුලී පදනම මත සපයා ගනිමින් වෙරළාරක්ෂක වැඩබිම් ක්‍රියාත්මක කෙරේ. තවද, ආරක්ෂක කවුන්සලය හරහා ත්‍රිවිධ හමුදාව සතුව පවතින යන්ත්‍රෝපකරණ, විශේෂයෙන් එස්කැවේටර් යන්ත්‍ර හා වීල් ලෝඩර් යන්ත්‍ර වෙරළාරක්ෂක වැඩ සඳහා යොදා ගැනීමේ ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් පවතී.

• මීට අමතර, 2027 වර්ෂයේ අය වැය ප්‍රතිපාදන මඟින් හෝ මේ වනවිට රජය මඟින් ඉදිකිරීම් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ටෙන්ඩරය තුළට ඇතුළත් කර හෝ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව යන්ත්‍ර 12ක් ලබා ගැනීම සඳහා යෝජනා වාර්තාවක් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

(iii) පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළ තීරයේ මෑත වසරවල දී වෙරළ ඛාදන තත්ත්වය තීව්‍ර වීමට ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් දෙකම හේතු වී ඇත. ප්‍රධාන වශයෙන්,

• නිරිතදිග මෝසම් සමයේ ඇතිවන ප්‍රබල රළ ක්‍රියාකාරිත්වය සහ කුණාටු තත්ත්වය  හේතුවෙන් වෙරළ තීරයට දැඩි රළ බලපෑම් එල්ල වීම.

• දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මුහුදු මට්ටම ක්‍රමයෙන් ඉහළ යෑම සහ අධික කාලගුණික සිදුවීම් වැඩිවීම.

• වෙරළ තීරය ඔස්සේ සිදුවන ස්වාභාවික වැලි ප්‍රවාහනය වෙනස්වීම හෝ බාධා වීම.

• මීට පෙර ඉදිකර ඇති ඇතැම් වෙරළ ආරක්ෂණ ව්‍යුහ හේතුවෙන් ඇතැම් ස්ථානවන වැලි තැන්පත් වීම සහ යාබද ප්‍රදේශවල ඛාදනය වැඩිවීම.

• සීමා උල්ලංඝනය කරමින් අවදානම් කලාපවල වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සිදු කිරීමෙන්, ස්වාභාවික ආපදා තත්ත්වයන්හි දී එම ඉදිකිරීම් හේතුවෙන් වෙරළේ ස්වාභාවික ආරක්ෂණ හැකියාව අඩු වීම.

ඉහත හේතුවල ඒකාබද්ධ බලපෑම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල, අඹකඳවිල, උඩප්පුව, කරුකපනේ, කුඩාව, කල්පිටිය, කිරිමුන්දලම සහ ඉලන්තඩිය ආදී ප්‍රදේශවල වෙරළ ඛාදනය මෑත කාලයේදී වැඩි වශයෙන් නිරීක්ෂණය වී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks