E   |     |  

 දිනය: 2026-05-20   පිළිතුර ලබා දී ඇත 

1936/2026: ලංකා ධීවර සංස්ථාව: මූල්‍ය අක්‍රමිකතා

1936/2026

ගරු අජිත් ගිහාන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ලංකා ධීවර සංස්ථාව ධීවර ජනතාවට මෙන්ම පාරිභෝගිකයන්ටද සේවා සපයන ආයතනයක් බවත්;

            (ii)       පසුගිය පාලන කාලය තුළ සංස්ථාවේ කාර්යභාරය බිඳවැටී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ලංකා ධීවර  සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා සිදුවී තිබේද;

(ii) සංස්ථාවට අයත් අයිස් යන්ත්‍රාගාර සංඛ්‍යාව කොපමණද;

(iii) එම යන්ත්‍රාගාරයන්හි යන්ත්‍රසූත්‍රවල ක්‍රියාකාරිත්වය කවරේද;

(iv) සංස්ථාව සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-20

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

Ø      1957 අංක 49 දරන ලංකා කාර්මික නීතිගත පනත යටතේ ලංකා ධීවර සංස්ථාව ස්ථාපිත කිරීමට අදාළ ප්‍රධාන අරමුණු අතර, ගුණාත්මක තත්ත්වයෙන් උසස් මසුන් සහනදායි මිල ගණන් යටතේ ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම ප්‍රමුඛ අරමුණක් වූ අතර, ඒ අනුව ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා සිල්ලර අළෙවි සැල් ජාලයක් මඟින් ගුණාත්මක තත්ත්වයෙන් උසස් මසුන් සහනදායි මිල ගණන් යටතේ අළෙවි කිරීම සිදු කරනු ලබයි. ඉහත අරමුණු සපුරාලීම සඳහා ලංකා ධීවර සංස්ථාව ශීතාගාර පවත්වාගෙන යාම, අයිස් නිෂ්පාදනයට දායක වීම සිදු කරනු ලබයි.

Ø ධීවර ජනතාව වෙනුවෙන් ඍජුවම ඔවුන්ගේ මසුන් අස්වැන්න සාධාරණ මිලකට මිල දී ගැනීම දෛනිකව සිදු කරනු ලබන අතර, රට තුළ පැන නඟින අර්බුදකාරි අවස්ථාවලදී ධීවරයන්ට සහන සැලසීමේ මෙවලමක් ලෙස ලංකා ධීවර සංස්ථාව කටයුතු කරනු ලබයි. උදාහරණයක් වශයෙන්, කොවිඩ් වසංගතය සමයේ අළෙවි කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ පාලන මිලක් නියම කොට ඔවුන්ගේ මසුන් අස්වැන්න රජයේ මැදිහත් වීමද සහිතව ලංකා ධීවර සංස්ථාව මඟින් මිල දී ගැනීම.

(ii) ඔව්.

Ø 2010 වර්ෂයේ සිට මේ දක්වා ලංකා ධීවර සංස්ථාව මූල්‍ය අර්බුදයකට ලක් වී ඇති අතර, ඒ හේතුවෙන් සේවකයන්ගේ ව්‍යවස්ථාපිත ගෙවීම් පැහැර හැරීම, මසුන් සැපයුම්කරුවන්ගේ ගෙවීම් ප්‍රමාද වීම හා බැංකු සඳහා පොලී සහ අයිරා පහසුකම් සඳහා වන ගෙවීම් පැහැර හැරීම සිදු වී ඇත. මෙම හේතු මත ධීවර ජනතාවට මෙන්ම පාරිභෝගික ජනතාව වෙත ප්‍රශස්ත සේවාවක් ලබා දීමට ධීවර සංස්ථාවට දුෂ්කර විය.

(ආ) (i) ඔව්.  ඇමුණුමෙහි දක්වා ඇත.

ගරු කථානායකතුමනි, ඇමුණුමෙහි සඳහන් වෙනවා, පසුගිය කාලය තුළ සිදු වුණු මූල්‍ය අක්‍රමිකතා සහ ඒවාට අදාළ ක්‍රියාත්මක කිරීම් පිළිබඳව. ඒ වාගේම, 2024 හා 2025 වර්ෂවල සංස්ථා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව. 1 සිට 10 දක්වා අක්‍රමිකතා සම්බන්ධව අපි ගත් ක්‍රියාමාර්ග ඇමුණුමෙහි දක්වා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. මා එම ඇමුණුම සභාගත* කරනවා.

ගරු කථානායකතුමනි, මේ වසර දෙකක කාලය තුළ ලංකා ධීවර සංස්ථාවේ සිදු වෙච්ච මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ගණනයක් කරලා තිබෙනවා. ඒ අනුව, රුපියල් මිලියන 20ක මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ඇප තබා මුදා හැර තිබෙනවා. තවත් කොටසකට විනය පරීක්ෂණ පවත්වා කරුණු තහවුරු කරගෙන ඒ අය සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඊට අමතරව තවමත් විධිමත් විනය පරීක්ෂණ කටයුතුවල නියැළීම් තිබෙනවා. ඊට අමතරව, චෝදනා පත්‍ර නිකුත් කර තිබෙනවා. මේ ආදී වශයෙන් ලංකා ධීවර සංස්ථා‍වේ සිදු වුණු මූල්‍ය අක්‍රමිකතා 10ක් පිළිබඳව අපේ රජය බලයට පත් වුණාට පස්සේ විමර්ශනය කර තිබෙනවා. දළ වශයෙන් රුපියල් මිලියන 20ක පමණ වටිනාකම්වලට අදාළ තරම් ප්‍රමාණයක් විමර්ශනය කර තිබෙනවා.

(ii) අයිස් යන්ත්‍රාගාර  9කි.

1.  පේසාලය අයිස් යන්ත්‍රාගාරය

2.  ගුරුනගර් අයිස් යන්ත්‍රාගාරය

3.  හම්බන්තොට අයිස් යන්ත්‍රාගාරය

4.  ගාල්ල අයිස් යන්ත්‍රාගාරය

5.  අනුරාධපුරය අයිස් යන්ත්‍රාගාරය

6.  මින්නේරිය අයිස් යන්ත්‍රාගාරය

7.  පුත්තලම පාලවිය අයිස් යන්ත්‍රාගාරය

8.  රත්නපුර විධායකයේ පිහිටි අයිස් යන්ත්‍රාගාරය

9. මඩකලපුව කල්අඩි පාලම අසල පිහිටි අයිස් යන්ත්‍රාගාරය

(iii) ඉහත සඳහන් යන්ත්‍රාගාරවලින් යන්ත්‍රාගාර 5ක් පමණක් ක්‍රියාකාරි තත්ත්වයේ පවතින නමුත් අනුරාධපුර විධායකයේ පවතින අයිස් යන්ත්‍රාගාරය පමණක් ඍජුව සංස්ථාව විසින් ක්‍රියාත්මක කරන නමුත්, 2016 සිට 2023 දක්වා කාල සීමාව තුළ යන්ත්‍රාගාර 4ක් බාහිර පාර්ශ්ව වෙත බදු පදනමින් ලබා දී ඇති අතර, යන්ත්‍රාගාර 4ක් යන්ත්‍ර සූත්‍ර නොමැතිව අක්‍රිය වී, මේ වන විට ගොඩනැඟිලි පමණක් ඉතිරි වී ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ඒක. මේ ප්‍රශ්නයටම අදාළ විස්තරාත්මක පිළිතුරක් තව තිබෙනවා.

 

යන්ත්‍රාගාරය

ක්‍රියාකාරිත්වය

බදු ගත් පාර්ශ්වය

බදු කාලසීමාව

මාසික බදු කුලිය

01

පේසාලය

ක්‍රියාකාරි

හෑන්ඩ්

සී ෆුඩ් පුද්ගලික සමාගම

වසර 10 (2021.12.14 - 2031.12.13)

රු.243,080.00

02

ගුරුනගර්

ක්‍රියාකාරි

ලංකා නෝර්ත් ඊස්ට් අයිස් කම්පැනි

වසර 15 (2011.05.30 - 2026.05.31)

රු.150,000.00

03

හම්බන්තොට

ක්‍රියාකාරි

නෙහාරා

සී ෆුඩ් ආයතනය

වසර 05 (2020.06.22 - 2025.06.21)

රු.139,755.00

04

ගාල්ල

ක්‍රියාකාරි

රිවර් සයිඩ් අයිස් කොම්පැනි පුද්ගලික සමාගම

වසර 10 (2023.04.28 - 2032.10.05)

රු.1,320,000.00

05

අනුරාධපුරය

ක්‍රියාකාරි

ලංකා ධීවර සංස්ථා අනුරාධපුර විධායකය විසින් අයිස් නිෂ්පාදනය කරනු ලබයි

-

-

06

මින්නේරිය

අක්‍රීය

ගොඩනැඟිලි පමණක් ඇත

-

-

07

පුත්තලම පාලවිය

අක්‍රිය

ගොඩනැඟිලි පමණක් ඇත

-

-

08

රත්නපුරය

අක්‍රීය

ගොඩනැඟිලි පමණක් ඇත

-

-

09

මඩකලපුව

අක්‍රීය

ගොඩනැඟිලි පමණක් ඇත

 

 

ගරු මන්ත්‍රීතුමනි,  මින්නේරිය, පුත්තලම පාලවිය, රත්නපුරය සහ මඩකලපුව කියන ස්ථානවල ඉතිරි වෙලා තිබෙන්නේ ගොඩනැඟිලි විතරයි. ඒවායේ යන්ත්‍ර සූත්‍ර ඇත්තේ නැහැ. පසුගිය කාලයේ තුළ ඒවාත් විකුණාගෙන කාලා තිබෙන්නේ.

(iv) ඔව්.

(v) ඔව්. විස්තර පහත සඳහන් වේ.

  • 2026 වර්ෂය සඳහා ආදායම් ලෙස රුපියල් මිලියන 6,400ක් (පසුගිය වසරේ රුපියල් මිලියන 5,508ක්) ඉලක්ක කොට ආයතනික ක්‍රියාකාරි සැලැස්ම සකස් කොට පූර්ණ කාලීන ක්‍රියාකාරි අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා නව කළමනාකරණය යටතේ සාධනීය ප්‍රගතියක් ප්‍රථම කාර්තුවේදීම අත් කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම, මෙම වසරේ ඉදිරි කාර්තුවල මෙහි ප්‍රගතිය වඩාත් ඉහළ මට්ටමකට පත් කිරීම සඳහා අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කටයුතු සිදු කරමින් පවතී. ඒ අතර මෙම කටයුතු සාර්ථකව බාධාවකින් තොරව ඉටු කරගෙන යෑම සඳහා ජපන් ආධාර යටතේ නව ශීතකරණ ට්‍රක් රථ 6ක් ලංකා ධීවර සංස්ථාව වෙත ප්‍රදානයක් ලෙස හිමි වී ඇත. තවද, ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාලයේ පවතින අධි ශීතාගාර අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේ වන විට ආරම්භ කර ඇත.
  • ලංකා ධීවර සංස්ථාව සතුව හිමිකම් ලේඛන නොමැති නමුත්, සංස්ථාවේ දේපළ කිහිපයක් පෞද්ගලික පාර්ශ්ව  විසින් පරිහරණය කරන අතර, එම දේපළවලින් කිහිපයක් වත්මන් සභාපති/අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංස්ථාව වෙත පවරා ගැනීමට සමත් වී ඇත.

ගරු කථානායකතුමනි, ධීවර සංස්ථා අළෙවි සැල් බොහොමයක් තිබුණේ පෞද්ගලික පාර්ශ්ව යටතේ. ඔවුන් බදු නොගෙවා තමයි ඒ කටයුතු කළේ. මේ වෙනකොට ඒවා ඉවත් කරලා, නීතිමය කටයුතු කරලා අළෙවි සැල් ගණනාවක් නැවත සංස්ථාව යටතට පත් කර තිබෙනවා.

  • එමෙන්ම, ධීවර සංස්ථාව සතු දේපළක් වන මන්නාරම පේසාලේ පිහිටි අක්කර 20ක් වූ ඉඩමෙන් අක්කර 12කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 543 බල සේනාංකය භුක්ති විඳිනු ලැබේ. තවද, හිමිකම් ලේඛන පවතින ආයතනය සතුව ඇති ඉඩකඩම් හා දේපළ ආයෝජනය කිරීම ආරම්භ කර, සාර්ථක ප්‍රගතියක් අත් කරගෙන ඇත.
  • වසර ගණනාවක සිට සංස්ථාව වෙත අය කර ගැනීමට නොහැකිව පැවති සංස්ථා ණයගැති ශේෂය වන රුපියල් මිලියන 350ක මුදලින් රුපියල් මිලියන 66ක මුදලක් පළමු කාර්තුවේදීම අය කර ගැනීමට සමත් වූ අතර, ණය හිමි ශේෂය වන රුපියල් මිලියන 600ක මුදල අවම කිරීමේ ක්‍රියාවලියක නිරත වී ඇත. නව ගනුදෙනුකරුවන් සොයා ගොස් ඔවුන් සමඟ ගිවිසුම් ගත වී මිලදී ගැනීම් තුළින් අළෙවිය ඉහළ දැමීම හා නව ව්‍යාපාර අවස්ථා අත්හදා බලමින් අළෙවි ජාලය පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
  • මෙම වසරේ ඉලක්කගත සියලු කාර්යයන් සාර්ථක කර ගනිමින් පසුගිය වසරේ රුපියල් මිලියන 39ක් වූ ශුද්ධ ලාභය 2026 වසර තුළ රුපියල් මිලියන 190ක් දක්වා වර්ධනය කර ගැනීම සංස්ථාවේ කාර්යභාරය වී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රත්න ගම‍ගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks