logo

01

E   |     |  

 දිනය: 2026-07-24   පිළිතුර ලබා දී ඇත 

1889/2026: නැ‍ඟෙනහිර පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල ජාතික පාසල්: විදුහල්පති පුරප්පාඩු

ගරු අබූබකර් අතම්බාවා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       නැගෙනහිර පළාතේ, නාගරික ප්‍රදේශවලින් බැහැරව පිහිටි ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බැවින්, පරිපාලන හා අධ්‍යාපනික කටයුතුවලදී ගැටලු මතුවී ඇති බවත්;

(ii) අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් වෙරළබඩ අධ්‍යාපන කලාපවල සුදුසුකම්ලත් විදුහල්පතිවරුන් අතිරික්තව සිටියදී විදුහල්පතිවරුන් පත් නොකළ පාසල් බොහෝමයක් පවතින බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට (SLEAS) නව නිලධාරින්ගේ අවශ්‍යතාවය පවතින අවස්ථාවක, පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා එම සේවයේ නිලධාරින් කැඳවීමේ අවශ්‍යතාවය කවරේද;

(ii) එම නිලධාරින්ට ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට හැකිවනු පිණිස විදුහල්පති රාජකාරිවලින් නිදහස් කිරීමට හැකියාවක් තිබේද;

(iii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ විදුහල්පති සේවයේ නිලධාරින්ගේ රැකියා අවස්ථා සමාන පදනමක් මත විධිමත් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iv) සුදුසුකම්ලත් විදුහල්පතිවරුන් ප්‍රමාදයකින් තොරව පාසල් පරිපාලනයට පත් කිරීම සහතික කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-24

අසන ලද්දේ

ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැ‍ඟෙනහිර පළාතේ පවතින ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පහත පරිදි වේ. 

අනු අංකය

විදුහල්පති තනතුර අනුමත සේවය හා ශ්‍රේණිය

අනුමත පාසල් සංඛ්‍යාව

ස්ථිර විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව

විදුහල්පති තනතුර පුරප්පාඩු පාසල් සංඛ්‍යාව

01

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය

5

3

2

02

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය II/III ශ්‍රේණිය

6

3

3

03

ශ්‍රී ලංකා විදුහල්පති සේවය I ශ්‍රේණිය

31

24

7

 

එකතුව

42

30

12

ඒ අනුව, අනුමත පාසල් 42ක් සඳහා ස්ථිර විදුහල්පතිවරු 30දෙනෙකු රාජකාරි කරන අතර, ස්ථිර විදුහල්පති තනතුරු 12ක් සඳහා පුරප්පාඩු පවතී. නමුත්, එම පුරප්පාඩු පැවතියද, වැඩ බලන විදුහල්ති හෝ රාජකාරි ආවරණය කරන විදුහල්පතිවරයෙක් මඟින් එම පාසල්වල අධ්‍යාපන හා පරිපාලන කටයුතු කළමනාකරණය කර ගනු ලබන අතර, මෙම පුරප්පාඩු තනතුරු සඳහා අයදුම් පත් කැඳවා බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරමින් පවතී.

 

(ii) අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ අධ්‍යාපන කලාප - සමන්තුරේ, කල්මුණේ, තිරුක්කෝවිල් හා අක්කරෙයිපත්තු යන කලාප - සැලකීමේදී කල්මුණේ අධ්‍යාපන කලාපය තුළ පිහිටි පළාත් පාසල්වල ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරින් 21කගේ අතිරික්තයක් පවතිනවා. මෙම වර්ෂයේ ස්ථාන මාරුවලට පෙර මෙම අතිරික්තය 35ක්ව පැවතුණා.

අදාළ ජාතික හා පළාත් පාසල්වල ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කාර්ය මණ්ඩල තොරතුරු ඇමුණුම් 01, 02 සහ 03 මඟින් ඉදිරිපත් කර ඇත. එම ඇමුණුම් පහත දැ‍ක්වේ.

 

කල්මුනේ කලාපයේ අතිරික්ත විදුහල්පතිවරුන් එම කලාපය තුළ පත් කිරීම සඳහා පුරප්පාඩු සහිත පාසල් නොමැති බැවින්, පුරප්පාඩු පවතින ආසන්න කලාප වන අක්කරෙයිපත්තු සහ මඩකලපුව මධ්‍යම ඇතුළු කලාප කිහිපයක් සඳහා වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය යටතේ - 2026 - විදුහල්පතිවරු 14දෙනෙකු ස්ථාන මාරු කරන ලදී. එමෙන්ම, 2027 විදුහල්පති ස්ථාන මාරු යටතේ තවත් පිරිසක් ස්ථාන මාරු කිරීමට යෝජනා කර ඇත. නමුත්, මේ සඳහා පවතින බාධාව වන්නේ, මෙම අතිරික්ත විදුහල්පතිවරුන් බොහෝදෙනා වයස අවුරුදු 55 ඉක්මවූවන් මෙන්ම, රෝගාබාධවලින් පෙළෙන අය වීම හේතුවෙන් ඔවුන් අභියාචනා කර තිබීම හේතුවෙන් ඒ සමහර විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කිරීමයි. මෙතැනදි නිශ්චිත කාර්ය පටිපාටිය සහ ආයතන සංග්‍රහය අනුව එම විදුහල්පතිවරුන්ට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කර තිබෙනවා.

 

(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ව්‍යවස්ථාව ප්‍රකාරව, එම සේවයේ නිලධාරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු පරිපාලනමය කාර්යයන් සඳහාත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් පාසල්වල විදුහල්පති තනතුරේ රාජකාරි කිරීමටත් ප්‍රතිපාදන සැකසී තිබෙනවා.

(ii) අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ පාසල්වල සේවය කරන ලද නිලධාරින් ප්‍රතිපත්ති සම්පාදනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා යෙදවීමේදී එම නිලධාරින් තම පාසල්වල විදුහල්පතිවරුන් ලෙස සේවය කර ලබා ගත් අත්දැකීම් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, එවැනි අත්දැකීම් ඇති නිලධාරින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කිරීම සඳහා නිදහස් කිරීමට කිසිදු බාධාවක් නොමැත.

(iii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය යනු, එකිනෙකට වෙනස් වූ සේවා ව්‍යවස්ථා දෙකක් මඟින් ක්‍රියාත්මක වන සේවා දෙකකි. එසේම, මෙම සේවාවල අනන්‍ය වූ සුවිශේෂිතා මත ඊට අනුරූපී වූ තනතුරු හා කාර්යයන් පවරා ඇති අතර, මේ වන විටත් ඒවා අනුමත වී ඇත. මෙම සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ ඒ නිලධාරින්ගේ රැකියා අවස්ථා/තනතුරු නිර්මාණය කර ඇත. ඒ අනුව, එකිනෙකට වෙනස් වූ සේවා දෙකක් සම්බන්ධව සමාන පදනමක් මත සිට කටයුතු කිරීමට සේවා ව්‍යවස්ථා ප්‍රකාරව ප්‍රතිපාදන නොමැත.

(iv) ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා නවක නිලධාරින් බඳවා ගැනීමේ සීමිත ලිඛිත තරග විභාගය 2026.06.07 දින පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා පවතින පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනමින් සිංහල හා දෙමළ මාධ්‍ය අනුව නිලධාරින් බඳවා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks