logo

01

E   |     |  

 දිනය: 2026-07-09   පිළිතුර ලබා දී ඇත 

1888/2026: බොලිවේරියානු ගම්මානයේ නිවාස යෝජනා ක්‍රම: ප්‍රතිසංස්කරණය

ගරු අබූබකර් අතම්බාවා මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      බොලිවේරියන් ගම්මානයේ පිහිටි EHED සුනාමි නැවත පදිංචි කිරීමේ, ඉස්ලාමාබාද් සහ පෙරියනීලාවනෛයි යන නිවාස යෝජනා ක්‍රම පරිහානියට පත්ව මූලික පහසුකම් අක්‍රිය තත්ත්වයට පත්වීමෙන් පදිංචිකරුවන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බවත්;

(ii) නිරන්තර ගංවතුර හේතුවෙන් රැඳෙන ජලය, වැසිකිළි සහ අපජල පද්ධතිය සමඟ මිශ්‍ර වීමෙන් මදුරුවන් බෝ වීම සහ රෝග පැතිර යාම ඇතුළුව සෞඛ්‍ය ගැටලු ඇතිවී ඇති බවත්;

(iii) ඒ හේතුවෙන් වැඩිහිටියන්, කාන්තාවන්, දරුවන් සහ රෝගීන් පීඩාවට පත්වී ඇති බවත්;

(iv) ඉහත නිවාස යෝජනා ක්‍රමවල ක්‍රියාත්මකවූ සහාධිපත්‍ය දේපල කමිටු දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රියව පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත නිවාස යෝජනා ක්‍රමවල පවතින සෞඛ්‍ය, කානු පද්ධති සහ ගංවතුර ගැටලු විසඳීමට ගනු ලබන ක්ෂණික පියවර කවරේද;

(ii) මෙම නිවාස යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම හෝ යළි ගොඩනැගීම සඳහා ප්‍රායෝගික සහ ස්ථිර විසඳුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේද;

(iii) එසේ නම්, ඒ සඳහා යෝජිත කාල වකවානු කවරේද;

(iv) මේ වනවිට අක්‍රියව පවතින සහාධිපත්‍ය දේපල කමිටු සක්‍රිය කිරීම සඳහා  ගත වන කාල වකවානුව කවරේද;

 යන්‍න එතුමා  මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-09

අසන ලද්දේ

ගරු අබූබකර් අතම්බාවා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය ඉදි කර ඇති අතර, කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉස්ලාමාබාද් හා පෙරියනීලාවනෛ සුනාමි නිවාස යෝජනා ක්‍රම ඉදි කර ඇත. පෞද්ගලික ආයතන මඟින් ඉස්ලාමාබාද් සුනාමි නිවාස ඉදි කර ඇති අතර, පෙරියනීලාවනෛ සුනාමි නිවාස යෝජනා ක්‍රමය ඉස්ලාමික් රිලීෆ් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය නොවන සංවිධානය මඟින් ඉදි කර ඇත. මෙම නිවාසයන්හි මූලික පහසුකම් අක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්තා වී ඇත.

(ii) ඉස්ලාමාබාද් හා පෙරියනීලා‍වනෛ සුනාමි නිවාස ක්‍රමය තුළ ඉදි කරන ලද අපවහන පද්ධතිය හා අපජල පද්ධතිය දැනට අක්‍රිය තත්ත්වයට පත් වී ඇති බැවින් සෞඛ්‍ය ගැටලු මතු වී ඇති අතර, ජලය රඳා පැවතීම නිසා මදුරුවන් බෝවීමේ අවදානම වැඩි වී ඇත. බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ ගංවතුර ප්‍රශ්න වාර්ෂික වර්ෂාපතනය හේතුවෙන් වාර්තා වන අතර, මෙම යෝජනා ක්‍රමය අක්කර 50ක කුඹුරු ඉඩම් ගොඩ කර ඉදි කර ඇති බැවින්, මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති අතර, ජලය එක් රැස් වීම හේතුවෙන් රෝග පැතිර යෑම, මදුරුවන් බෝ වීම හා සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බව වාර්තා වී ඇත.

(iii) ඉස්ලාමාබාද් හා පෙරියනීලාවනෛ සුනාමි නිවාස ක්‍රමය තුළ සෞඛ්‍ය ගැටලු පැවතීම හේතුවෙන් විටින් විට රෝගී තත්ත්වයන් වාර්තා වී ඇති බව කල්මුණේ ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර ඇත. ‍බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැඩි කාලයක් ජලය රැඳී තිබීම නිසා ඩෙංගු සහ ජලය මඟින් බෝවන ‍රෝගී තත්ත්වයන් වාර්තා වී ඇති බවත් ළමුන්, කාන්තාවන් හා වැඩිහිටියන් මේ නිසා පීඩාවට පත්ව ඇති බවත් වාර්තා වී ඇත.

(iv) බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ තනි නිවාස ඉදි කර ඇති බැවින් සහාධිපත්‍ය දේපළ කමිටුව අදාළ නොවන අතර, අක්‍රියව පැවැති ඉස්ලාමාබාද් හා පෙරියනීලා‍වනෛ සුනාමි නිවාස ක්‍රමවල සහාධිපත්‍ය දේපළ කමිටු මේ වන විට සක්‍රිය කර රැස්වීම් පව ත්වා ඇත.

(ආ) (i) ‍බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ වර්ෂාපතනය ඇති වන කාල වකවානු තුළ කල්මුණේ මහ නගර සභා‍ව මඟින් සියලුම කානු පද්ධති ශුද්ධ පවිත්‍ර කරමින්  කිඩා මූලෙයි ගඟට ජලය බැහැර කිරීම සඳහා කටයුතු කර ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් මදුරු නාශක දුම් ගැසීම ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන පවිත්‍ර කිරීමට මෙන්ම සැල්වීනියා හා ජපන් ජබර ඉවත් කර ජලය බැස යෑම ක්‍රමවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කටයුතු කරයි.

ඉස්ලාමාබාද් හා පෙරියනීලාවනෛ සුනාමි නිවාස ක්‍රමයෙහි අපවහන පද්ධතිවල ද ගැටලු පවතින අතර, තාවකාලික විසඳුම් ලෙස කල්මුණේ මහ නගර සභාව විසින් අධිකරණ නියෝග අනුව රුපියල් මිලියන 5කට ආසන්න මුදලක් වැය කරමින් වෙනම වැසිකිළි ටැංකි ඉදි කර ඇති බවත්, සුද්ධ පවිත්‍ර කිරීම සඳහා රුපියල් 75,000.00ක මුදල් ලබා දී ඇති බවත් දන්වා ඇත. තවද පෙරියනීලාවනෛ නිවාස යෝජනා ක්‍රමය තුළ විමධ්‍යගත අය වැය වැඩසටහන මඟින් වැසිකිළි ටැංකි 8ක් පමණ ඉදි කර ඇත.

(ii) බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය හෝ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තාක්ෂණික ඇගැයීම් කමිටුව මඟින් දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු පත් කර වාර්තා කැඳවීමට කටයුතු කර ඇත. ඒ අනුව, මේ සම්බන්ධව තවදුරටත් කටයුතු කරනු ඇත.

ඉස්ලාමාබාද් හා පෙරියනීලාවනෛ සුනාමි නිවාස යෝජනා ක්‍රම සඳහා මේ ආකාරයෙන් තාක්ෂණික කමිටු පත් කරමින් සුදුසු පියවර ගැනීමට තීරණය වී ඇත.

(iii) තවදුරටත් තාක්ෂණික විෂය සම්බන්ධව සැලකිල්ලට ගත යුතු කරුණු පවතින බැවින් අවශ්‍ය ඉදි කිරීම් වසර 2ක කාලයක් තුළ අවසන් කිරීමට හැකි බව.

(iv) බොලිවේරියන් ගම්මානයේ EHED නිවාස යෝජනා ක්‍රමය තුළ මෙය අදාළ නොවන අතර, ඉස්ලාමාබාද් හා පෙරියනීලාවනෛ සුනාමි නිවාස යෝජනා ක්‍රම සඳහා මේ වන විට සහාධිපත්‍ය දේපළ කමිටු රැස්වීම් 2026.06.12 හා 2026.06.13 වන දින පවත්වා සක්‍රි කිරීමට කටයුතු කර ඇති බව කල්මුණේ ප්‍රාදේශීය ලේකම් විසින් වාර්තා කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks