පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (2)
(අ) (i) ශ්‍රී ලංකාවේ අධ්‍යාපනවේදී උපාධිය පිරිනමන රාජ්‍ය අධ්‍යාපන ආයතන කවරේද;
(ii) එම උපාධිය පිරිනමන රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන කවරේද;
(iii) රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධිය ගුරු සේවයට බඳවාගැනීමේදී සමානව සලකන්නේද;
(iv) නොඑසේ නම්, ඒ මන්ද;
(v) රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා කාලය හා අන්තර්ගතය සමාන වන්නේද;
(vi) නොඑසේ නම්, ඒ මන්ද;
(vii) අදාළ ආයතන මඟින් පිරිනමන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවට ප්‍රායෝගික ඉගැන්වීමේ පුහුණුවක් අනිවාර්ය වන්නේද;
(viii) එසේ නම්, එම කාලය කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-04-24
අසන ලද්දේ
ගරු සුනිල් රාජපක්‍ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) • කොළඹ විශ්වවිද්‍යාලය
• පේරාදෙණිය විශ්වවිද්‍යාලය
• නැඟෙනහිර විශ්වවිද්‍යාලය
• ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
• ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
• ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ii) අධ්‍යාපනවේදී උපාධිය ප්‍රදානය කරනු ලබන උසස් අධ්‍යාපන අංශය යටතේ නියාමනය වන විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය යටතේ පිහිටුවා ඇති උපාධි පිරිනැමීමේ ආයතන 09කි.
• Sri Lanka Institute of Information Technology (Guarantee) Limited (SLIIT)
• CINEC Campus (Pvt.) Limited
• Horizon College of Business & Technology (Pvt.) Limited
• KIU Campus (Pvt.) Limited
• Aquinas College of Higher Studies
• Benedict XVI Catholic International Institute of Higher Education
• Royal Institute of Colombo (Private) Limited
• The Gateway College (Private) Limited
• The Lyceum Campus (Private) Limited
විදේශ විශ්වවිද්‍යාල
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/92 ප්‍රකාරව විදේශීය විශ්වවිද්‍යාල පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල වාර්ෂික ප්‍රකාශනයේ - Commonwealth University Yearbookහි - හෝ ලෝක උසස් අධ්‍යාපන දත්ත පද්ධතියේ -World Higher Education Databaseහි - අන්තර්ගත වීම මත එම විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධි පිරිනමන විශ්වවිද්‍යාල/ආයතන ලෙස සලකනු ලබන බවට ලිපි මඟින් තහවුරු කර ඇති විශ්වවිද්‍යාල.
(iii) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/92 හා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 01/2025 යටතේ උපාධි සහතික පිළිගැනීම පිළිබඳව ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරනු ලැබේ. ඒ අනුව අංක 1885/38 හා 2014.10.23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ වන ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවෙහි 13.8 වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති පරිදි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත හෝ පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි පිරිනමනු ලබන ආයතනයකින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධි සහිත ඕනෑම උපාධිධාරියෙකු සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුසුකම් පරීක්ෂා කර පසුව ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා, පවතින පුරප්පාඩු අනුව සුදුසුකම් ලබන්නේ නම් විෂයානුබද්ධව ගුරු සේවයේ 2-II ශ්‍රේණියට බඳවා ගැනීම සිදු කරයි. මෙම බඳවාගැනීම් සිදු කරනු ලබන්නේ දැනට බල පැවැත්වෙන ගුරු සේවා ව්‍යවස්ථාවෙහි පවතින ප්‍රතිපාදන යටතේ බව ද සඳහන් කරමි.
(iv) පැන නොනඟී.
(v) මෙම පාඨමාලා කාලය හා අන්තර්ගතය පිළිබඳව අංක (i) හා (ii) යටතේ සඳහන් උපාධි පිරිනමන විශ්වවිද්‍යාල හා ආයතන සඳහා පමණක් පහත පරිදි පිළිතුරු ඉදිරිපත් කරමි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 (අ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා විසින් පිළිගනු ලබන, උපාධි පිරිනැමීමේ ආයතන මඟින් ලබාදෙන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවක අධ්‍යයන කාලය වසර 4කි. මෙය සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් මඟින් පිරිනමනු ලබන උපාධියක අධ්‍යයන කාල සීමාවට සමාන වන අතර, අන්තර්ගතයද ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජිතයෙකු සහිතව පත් කරන ලද සමාලෝචන කමිටුවක් මඟින් සකසන ලද විෂය නිර්දේශයකි. එසේම මෙම උපාධි පාඨමාලා සියල්ලක්ම ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ රාමුව - SLQF - යටතේ පවතින අධ්‍යයන සම්භාර අනුව සකස් කර ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරන නමුත්, (සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණ) පවතින ක්‍රමය මඟින් බඳවා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් අතරින් විදේශීය විශ්වවිද්‍යාලවලින් ලබාගත් උපාධිවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතවාද ගොඩ නැඟී ඇත. එසේ වුවද එය මැන බැලීම සඳහා එකී උපාධිවලට අදාළ පාඨමාලා තොරතුරු ප්‍රමාණවත් නොවීම හා ඒවා නියාමනයට ප්‍රතිපාදන නොවන බවත්, එය හඳුනා ගැනීමෙන් අනතුරුව එම උපාධිවල අධ්‍යයන කාල සීමාව, ඒවායේ අන්තර්ගතය හා ගුරු පුහුණුව ආදී නිර්ණායක සම්බන්ධයෙන් අධ්‍යාපනවේදී උපාධියක තිබිය යුතු සම්මත සැලකිල්ලට ගනිමින් ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආදී පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සුදුසු බඳවා ගැනීමේ නිර්ණායක හා ක්‍රමයක් සකස් කිරීමට සැලසුම් කර ඇත. (කමිටු දෙකක් මඟින් නිර්දේශ ලබා දී ඇත.) එකී කමිටු නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය වෙත යොමු කිරීමට කටයුතු සිදු කර ඇති අතර එම අනුමැතිය අනුව ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
(vi) පැන නොනඟී.
(vii) ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව අධ්‍යාපනවේදී උපාධිධාරින් අනෙකුත් උපාධිධාරින්ට වඩා ඉහළ ශ්‍රේණියක පිහිටුවීමට ඔවුන් සතු ගුරු පුහුණුවද පාදක කර ගෙන ඇත. රජයේ විශ්වවිද්‍යාලවල මෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 (අ) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා විසින් පිළිගත්, “උපාධි පිරිනැමීමේ ආයතන” මඟින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවල ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණු සංරචක අන්තර්ගත වේ.
තවද ඉහත (i) හි දක්වන ලද විශ්වවිද්‍යාල හා (ii) පිළිතුරු යටතේ දක්වා ඇති විශ්වවිද්‍යාල පනතේ 25 (අ) වගන්තිය අනුව පිහිටුවා ඇති ආයතන සඳහා ඉහත පරිදි ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණු සංරචක ඇති බව නිරීක්ෂණය වේ. එහෙත් අධ්‍යාපනවේදී උපාධිය ලබා දෙන අනෙකුත් විශ්වවිද්‍යාල, ආයතන හෝ විදේශීය විශ්වවිද්‍යාල මඟින් ඉහත පරිදි ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බවට නියාමනය කිරීමේ ක්‍රමයක් අමාත්‍යාංශය සතුව නොමැත.
විශ්වවිද්‍යාල හා ආයතන යටතට සලකා නොබැලෙන අනෙකුත් විශ්වවිද්‍යාල හෝ අධ්‍යාපන ආයතන සම්බන්ධ තොරතුරු නිරීක්ෂණය නොවන අතර, එකී විශ්වවිද්‍යාල හෝ ආයතන වෙතින් උපාධි ලබන අය සඳහා ගුරු පුහුණුව ලබාදීමට රජයේ පාසල් ලබාදීමේ ක්‍රමයක් අමාත්‍යාංශය සතුව නොමැත.
(viii) අවම සති දෙකක කාලයක් පුහුණුව ලැබිය යුතුය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks