E   |     |  

 දිනය: 2026-04-22   පිළිතුර ලබා දී ඇත 

1855/2026: ශ්‍රී ලංකා දුම්රිය සේවය: දුම්රිය සහ දුම්රිය මාර්ග පද්ධතිය

.

අසන ලද දිනය

2026-04-22

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1858 වර්ෂයේ.

              (ii)      ඇමුණුම 01 වශයෙන් පහත පරිදි දක්වා ඇත.

 

 

ඇමුණුම 01

 

 

එන්ජින් ගණන

බලවේග කට්ටල ගණන

මැදිරි ගණන

ගැල් ගණන

අවුරුදු 60 ඉක්මවූ

13

-

107

1,447

අවුරුදු 25 ඉක්මවූ

57

35

838

428

අවුරුදු 15 ඉක්මවූ

09

15

174

10

අවුරුදු 10 ඉක්මවූ

09

42

197

6

අවුරුදු 10ට අඩු

10

38

320

65

 

(iii) දුම්රිය track එකේ දිග සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. මරදාන සිට කොළඹ දක්වා මංතීරු 4ක් තිබෙනවා, කිලෝමීටර 1.895ක් දිග. එතකොට ඒක හතරෙන් වැඩි කළාම, මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 7.580යි. මංතීරු තුනක් තිබෙන ඒවා ගත්තොත්, මරදාන සිට රාගම දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර 13.646යි. ඒක තුනෙන් වැඩි කළාම මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 40.938ක්.

ද්විත්ව මංතීරු තිබෙනවා, රාගම සිට රඹුක්කන දක්වා කිලෝමීටර 68.891ක. ඒ වාගේම කොළඹ කොටුව - පයාගල දකුණ දක්වා කිලෝමීටර 49.261ක් සහ රාගම ඉඳලා මීගමුව දක්වා කිලෝමීටර 23.304ක් තිබෙනවා. එතකොට ඒක දෙකෙන් වැඩි කළාම, මුළු දුර ප්‍රමාණය කිලෝමීටර 141.456යි. තනි මංතීරුවේ තිබෙනවා, කිලෝමීටර 1308.707ක්. දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණ ඇතුළත් ලැයිස්තුව පහත ඇමුණුම 02හි දක්වා ඇත.

 

ඇමුණුම 02

 

එතකොට මංතීරු හතර එකතු කිරීම, මංතීරු තුන එකතු කිරීම, මංතීරු දෙක එකතු කිරීම, තනි මංතීරුව ගත්තාම සම්පූර්ණ දුර ප්‍රමාණය වන්නේ, කිලෝමීටර 1640.137යි.

(iv) ප්‍රමාණවත් නොවේ.

(v) ඔව්. එය පහත පරිදි වේ.

  • · ආසියානු සංවර්ධන බැංකුව මඟින් එහි ණය ආධාර යටතේ කොළඹ සිට රාගම දක්වා හතරවන මාර්ගයත්, රාගම සිට වේයන්ගොඩ දක්වා තුන්වන මාර්ගයත්, කොළඹ සිට පානදුර දක්වා තුන්වන මාර්ගයත්, මරදාන සිට මාකුඹුර දක්වා ද්විත්ව ඉහළින් ගමන් ගන්නා දුම්රිය මාර්ගයත් හා මාකුඹුර සිට අරුවක්වත්ත දක්වා බිමින් ඉදිවන දෙවන මාර්ගයත්, විදුලි දුම්රියක් ධාවනය කිරීමට හැකි වන පරිදි සැලසුම් සකස් කර ඇත.
  • · විමධ්‍යගත අරමුදල් මඟින් පොල්ගහවෙල-කුරුණෑගල මහව ද්විත්ව මාර්ගයත්, පයාගල-අලුත්ගම ද්විත්ව මාර්ගයත්, මීගමුව-කොච්චිකඩේ ද්විත්ව මාර්ගයත් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.
  • · අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනය හා මූලික සැලසුම් සකස් කිරීමට උපදේශන සේවාවක් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.
  • · පේරාදෙණිය-ගම්පොල ද්විත්ව මාර්ගයත්, පේරාදෙණිය නුවර වත්තේගම ද්විත්ව මාර්ගයත් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතී.

(ආ) (i) මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ව්‍යාපෘති 33ක් හා ඒ යටතේ වන වැඩසටහන් සඳහා මාර්ග ආරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 317.6ක මුදලක් වෙන් කර ඇත.

(ii) පාසල් දරුවන් මාර්ග අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රධාන ව්‍යාපෘති 4කට අදාළව මාර්ග ආරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 16ක මුදලක් වෙන් කර ඇත.

මාර්ග ආරක්ෂණ අරමුදලට අදාළ ප්‍රතිපාදන වැය කරමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන උක්ත ව්‍යාපෘති හා වැඩසටහන්වලට අමතරව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු සෙසු ආයතන මඟින් මාර්ග අනතුරු අවම කිරීම සඳහා බොහෝ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් කාරුණිකව දන්වමි.

(ඇ) (i) ඔව්. ඇමුණුම 03 මඟින් දක්වා ඇත.  

              ඇමුණුම සභාගත කරමි.

 

ඇමුණුම 03

 

* සභාමේසය මත තබන ලද ඇමුණුම:

 * சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

  * Annex tabled:

 

සංවර්ධන සැලසුම් හා‍ රෙගුලාසි මඟින් අවිධිමත් ඉදිකිරීම් විධිමත් කිරීමේ ආකාරය

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතට අනුකූලව ප්‍රකාශයට පත් කරන ලද නාගරික ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් පිළියෙළ කිරීම සහ අනුමැතිය සඳහා අමාත්‍යවරයා වෙත ඒවා ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කර්තව්‍යයක් වේ. වර්තමානයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහ නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 218ක් (කොටස් වශයෙන් ද ඇතුළත්ව) ඇතුළුව සමස්ත නාගරික සංවර්ධන ප්‍රදේශ ගණන 283ක් නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. එහිදී වර්ෂ 1978 සිට 2025 දක්වා මේ වනවිට සංවර්ධන සැලසුම් 71ක් සකස්කොට ක්‍රියාත්මක මට්ටමේ පවතින අතර, එමඟින් ප්‍රකාශිත පළාත් පාලන ආයතන 119ක් ආවරණය වේ.

2026 වර්ෂයේදී පළාත් පාලන ආයතන 87ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 48ක් මේ වනවිට සකස් කරමින් පවතින අතර, ඉන් සංවර්ධන සැලසුම් 27ක්, 2026 දෙසැම්බර් මස 31වන දිනට ප්‍රථම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඉතිරි සංවර්ධන සැලසුම් 21, 2027 වර්ෂයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා වර්ෂයකට සංවර්ධන සැලසුම් 21 බැගින් සකස් කිරීමට ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර තිබේ.

සංවර්ධන සැලසුම්, ප්‍රධාන වශයෙන් ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව සකස් කරනු ලබන අතර, එම ප්‍රදේශවල භෞතික, සමාජීය, ආර්ථික හා පාරිසරික සංවර්ධනය සහ කළමනාකරණය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබේ. ඒ මඟින් නාගරික ප්‍රදේශවල පවතින අවිධිමත් ඉදිකිරීම් විධිමත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය, තාක්ෂණික හා කළමනාකරණ රාමුව සපයනු ලබන අතර, මෙම සැලසුම් තුළ ඉඩම් භාවිතය, ගොඩනැඟිලි නියාමනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂණය සම්බන්ධ මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් වන බැවින්, සැලසුම්වලට අනුකූල නොවන ඉදිකිරීම් හඳුනාගෙන ඒවා නියමිත ප්‍රමිතීන්ට අනුව විධිමත් කිරීමට හැකි වේ.

එමෙන්ම, සංවර්ධන සැලසුම් මඟින් ප්‍රදේශයක අනාගත සංවර්ධන දැක්ම පැහැදිලි කරනු ලබන අතර, මාර්ග පද්ධති, ජල සැපයුම, ජලාපවහන පහසුකම් සහ පොදු පහසුකම් වැනි යටිතල පහසුකම් සමඟ ඉදිකිරීම් ඒකාබද්ධ කිරීමට අවස්ථාව සලසන අතර, මෙය නාගරික පරිසරයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ආරක්ෂිත හා තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට දායක වේ.

තවද, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම මඟින් රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ජනතාව අතර සම්බන්ධීකරණය වැඩිදියුණු වන අතර, අනාගතයේ අවිධිමත් ඉදිකිරීම් ඇති වීම අවම කරමින් විධිමත් නාගරික සංවර්ධනයක් ප්‍රවර්ධනය කරයි.

තවද, 2021.07.08 දින අංක 2235/54 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සැලසුම් හා සංවර්ධන රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම රෙගුලාසි සෑම නාගරික සංවර්ධන ප්‍රදේශයක් සඳහාම අදාළ වේ.

සංවර්ධන සැලසුම් හා රෙගුලාසි ක්‍රියාවේ යෙදවීම සඳහා බලතල අදාළ පළාත් පාලන ආයතනයන්ට ලබා දී ඇති අතර, පළාත් පාලන ආයතනයන් විසින් නාගරික සංවර්ධන අධිකාරියේ ඍජු අධීක්ෂණය යටතේ එම බලතල ක්‍රියාවට නංවනු ලබයි.

අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාව සඳහා නිවාස සංකීර්ණ ලබා දීම මඟින් අවිධිමත් ඉදිකිරීම් විධිමත් කිරීමට කටයුතු කරන ආකාරය

කොළඹ හා තදාසන්න ප්‍රදේශ තුළ තිබෙන අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාව සඳහා නවීන පහසුකම්වලින් සමන්විත නිවාස සංකීර්ණ ලබා දීම මඟින් එම මුදා ගන්නා ඉඩම් උපරිම භාවිතයට ගැනීම සඳහා සැලසුම්ගත ප්‍රවේශයක් ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලාපොරොත්තු වේ. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවතී. එහිදී,

  • නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය
  • නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය
  • චීන ආධාර යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිය යන ව්‍යාපෘතීන් මඟින් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතීන් තුළින් විකල්ප නිවාස ඒකක ලබා දීම තුළින් අදාළ අඩු ආදායම්ලාභී ජනාවාස තුළ ජීවත් වන නිවැසියන් පුනස්ථාපනය කරලීම සිදු කරමින් පවතී.

මෙහිදී මෙම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය, 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එහිදී කොළඹ නගරය තුළ අඩු ආදායම්ලාභී පවුල් 68,000ක් හඳුනා ගන්නා ලදී. එමෙන්ම එම අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඒකක 50,000ක් ඉදිකරලීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇති අතර, මේ තුළින් ඉඩම් අක්කර 884කට ආසන්න ප්‍රමාණයක විසිරී පවතින අඩු ආදායම්ලාභී පවුල් පුනස්ථාපනය කිරීමටත්, පුනස්ථාපනය සඳහා ඉඩම් අක්කර 300ක් පමණක් යොදා ගැනීමටත්, අක්කර 150ක භූමියක් යටිතල පහසුකම් හා විවෘත අවකාශ සංරක්ෂිත ප්‍රදේශ මෙන්ම අනෙකුත් නාගරික පහසුකම් සඳහා ද යොදා ගැනීමට යෝජිත අතර, තවත් අක්කර 434ක භූමි ප්‍රමාණයක් තුළ ආර්ථික වශයෙන් ඵලදායී ආයෝජන සිදු කිරීමටත් අපේක්ෂිත වේ.

එමෙන්ම, දැනට නාගරික නිවාස 15,000කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම නිම කර ඇති අතර, තවත් නිවාස 5,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරමින් පවතී. එමෙන්ම, ඉදිරියේදී තවත් නිවාස ඒකක 30,000ක ප්‍රමාණයක් 2050 වර්ෂය වනවිට ඉදිකර නිම කිරීමට අපේක්ෂිත වේ.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය තුළින් නිවාස ඒකක 4,074ක ප්‍රමාණයක් කොළඹ නගරය තුළ වූ ස්ථාන 06ක් තුළ ඉදිකිරීමට නියමිත වේ.

ස්ථානයන්   :-

  • කොළඹගේ මාවත
    • ස්ටේඩියම්ගම
    • ඇපල්වත්ත
    • මාදම්පිටිය
    • ෆර්ගියුෂන් පාර
    • ඔබේසේකරපුර

චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය 2024 දෙසැම්බර් මස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, මේ තුළින් නිවාස ඒකක 1,996ක ප්‍රමාණයක්, නිවාස ව්‍යාපෘතීන් 05ක් තුළ ඉදිකර නිම කිරීමට නියමිතය. එමෙන්ම අදාළ සම්පූර්ණ ව්‍යාපෘතිය චීන රජයේ ප්‍රදානයක් ලෙස සිදු කෙරේ.

ස්ථානයන්  :-

  • දෙමටගොඩ
  • පෑලියගොඩ
  • මොරටුව
  • මහරගම
  • කොට්ටාව

 

(ii) අවිධිමත් ඉදිකිරීම් විධිමත් කිරීම සඳහා අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාව‍ට නිවාස සංකීර්ණ ලබා දීම වෙනුවෙන් පහත පරිදි මුදල් වෙන් කර ඇත.

 

- නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය

රුපියල් මිලියන 4,000ක් ‍2026 වර්ෂය අය වැය තුළින් වෙන් කර ඇත.

- නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය ආසියානු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ බැංකුවේ ණය සහ දේශීය අරමුදල් මඟින් ඉදි වනු ඇත. මෙමඟින් සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 158ක් (2019 වර්ෂයේ විනිමය අනුපාතයට අනුව) යෙදවීමට අපේක්ෂිත අතර, 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 11,000ක් යෙදවීමට සැලසුම් කර ඇති අතර, එයින් රුපියල් මිලියන 1,000ක් අය වැය තුළින් ද, තවත් රුපියල් මිලියන 10,000ක් ආසියානු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ බැංකුවේ ආධාර යටතේද යෙදවේ.

- චීන ආධාර ව්‍යාපෘතිය

චීන ආධාර යටතේ RMB 552ක් ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර, එදිනට පැවති විනිමය අනුපාතය යටතේ දළ වශයෙන් රුපියල් බිලියන 19ක ආධාරයකි. එමෙන්ම, දේශීය වශයෙන් රුපියල් බිලියන 6ක් ව්‍යාපෘතිය සඳහා යෙදවීමට යෝජිතය. මෙහිදී 2026 වර්ෂය සඳහා විදේශ ප්‍රේෂණ ලෙස රුපියල් බිලියන 5.59ක මුදලක් ද, දේශීය වශයෙන් රුපියල් බිලියන 0.584ක් යෙදවීමටත් අපේක්ෂිතය.

 

(ඈ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-06-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks