logo

02

E   |     |  

 දිනය: 2026-03-05   පිළිතුර ලබා දී ඇත 

1831/2026: මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්: වෙළඳපොළ පහසුකම්

.

අසන ලද දිනය

2026-03-05

අසන ලද්දේ

ගරු කන්දසාමි ප්‍රභු මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මඩකලපුව දිස්ත්‍රික්කයෙහි කෝරලේපත්තු බටහිර (ඔට්ටමාවඩි) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි වාලච්චේන සීමාසහිත ජාතික කඩදාසි සමාගමට අයත් ඉ‍ඩමෙන් අක්කර 50ක් අපි වෙන් කර තිබෙනවා, වාලච්චේන සම් සහ සම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තපුරයක් ඉදි කිරීමට.

                        එහි මූලික කටයුතු අවසන් වෙලා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම, අභ්‍යන්තර මාර්ග පද්ධතිය ඉදි කිරීම, කර්මාන්තපුරයේ වැට හා ආරක්ෂිත කුටි ඉදි කිරීම, ජල සැපයුම් හා අභ්‍යන්තර මාර්ග ඉදිකිරීමෙන් පසු, අපජල පිරිපහදු පද්ධතිය ඉදිකිරීම, විදුලිබල සැපයුම  කියන කාරණාවලට අපි මේ වෙනකොට අදාළ ආයතනවලට කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා ලිපි නිකුත් කරලා තිබෙනවා.

ඒ වාගේම මේ කර්මාන්ත ජනපදයේ මූලික ලෙසම අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ අපනයන වෙළෙඳ පොළටත්, දේශීය වෙළෙඳ පොළටත් අවශ්‍ය සම් හා සම් භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන - leather and leather products - කර්මාන්තපුරයක් ඇති කිරීමට.  ඒ වෙනුවෙන් ආයෝජකයෝ 11දෙනෙක් මේ වෙනකොට ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා.

  (ii) ගරු කථානායකතුමනි, අපි  2025 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත  ව්‍යවසායකයින් 430දෙනකුට අවශ්‍ය පුහුණුව ලබා දී තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් කිව යුතු කාරණයක් තිබෙනවා.  අපි විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයේ ව්‍යසායකයින් සඳහා අවශ්‍ය incubation centre එකක් විවෘත කළා, මේ අවුරුද්දේ. ඒක ඉතා වැදගත් වෙනවා නැ‍ඟෙනහිර පළාතේ ඉන්න අලුත් ව්‍යවසායකයින්ට. මොකද, ඒ අයට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර, ඒ පහසුකම් ලබා දීලා තිබෙනවා, විශ්වවිද්‍යාලයත් එක්ක ව්‍යවසායකයෝ ඒකාබද්ධ කරලා.

ඊට අමතරව 2025.09.10 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් සහ ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ආයෝජකයින් 82ක් පමණ සහභාගි වෙලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමිනුත් අපි ඒ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා. එහිදී  ඔවුන්ගේ ඉඩම් ප්‍රශ්න, ණය, අළෙවිය හා අමුද්‍රව්‍ය ගැටලු පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා.  අනෙකුත් දිස්ත්‍රික්කවලත් අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා තිබෙනවා.

(iii) ලංකාවේම අත්යන්ත්‍ර පේෂකර්ම - handloom - නිෂ්පාදන පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තිබෙන දිස්ත්‍රික්කය තමයි මඩකලපුව දිස්ත්‍රික්කය. ඒ නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් මුල් කර ගත්ත ව්‍යවසායකයින් ආර්ථිකයට දායක කර ගන්න ඔවුන්ගේ සම්ප්‍රදායික සාරි, වේට්ටි, සරම්, ඇඳ ඇතිරිලි, තුවා, මේස රෙදි ආදී ඒ ප්‍රදේශයටම ආවේණික රෙදි නිෂ්පාදන, නැ‍ඟෙනහිර පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන සහ  දිස්ත්‍රික්කය පුරා තිබෙන සමුපකාර සමිති මඟින් අපි ඒකාබද්ධ වැඩසටහන්වලින් ව්‍යාප්ත කරන්න කටයුතු කරමින් ඉන්නවා.

ඒවා ක්‍රියාත්මක කරපු පියවර හැටියට 2025 අගෝස්තු 23, 24 දිනවල වාලච්චේනයේ, VC ක්‍රීඩාංගණයේ අපි ඒ අයගේ අළෙවි ප්‍රවර්ධන ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඊට අමතරව දිවයිනේ වාර්ෂිකව ක්‍රියාත්මක කරන රන්සළු අළෙවි සල BMICH පරිශ්‍රයේ තිබෙනවා. ඒකට 2025 අවුරුද්දේ විතරක් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශිල්පීන් 65දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. 2026 අවුරුද්දේත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සෑම මාසයකම කලපුජාන් කියන මධ්‍යස්ථානයේ මාසිකව අළෙවි ප්‍රදර්ශනයක් අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ශිල්පීන් සඳහා පවත්වනවා. ඊට අමතරව නැ‍ඟෙනහිර පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙන් "Hands and Heritage East" වෙළඳ ප්‍රදර්ශනය පවත්වලා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කරන අළෙවි ප්‍රවර්ධන කටයුතු අපේ අමාත්‍යාංශයේ තිබෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය මඟින් නිරන්තරයෙන් ලබා දෙනවා.

(iv) විශේෂයෙන්ම මේක අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන වැඩසටහනක්. 2025 අවුරුද්දේ පමණක් මඩකලපු දිස්ත්‍රික්කයට කුඩා ව්‍යාපාරවලට SMILE III කියන ව්‍යාපෘතිය යටතේ 85 ලක්ෂයකුත්, E-Friends II යෝජනාව යටතේ 50 ලක්ෂයකුත් මේ ණය යෝජනාවෙන් ලබා දීලා තිබෙනවා. දැන් මේ ණය වැඩසටහන අපි කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධවයි ක්‍රියාත්මක කරන්නේ.

(v) දැනට නැහැ. නමුත් අපි එවැනි ක්‍රියාවලියක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒකාබද්ධව කටයුතු කරමින් ඒ සඳහා  ක්‍රියාත්මක වෙනවා.

ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේත් මගේ දෙපැත්තේම ඉන්නේ වැවිලි, කර්මාන්ත හා කෘෂි කර්මාන්ත ඇමතිවරු. අපි උදේටත් පොඩ්ඩක් සාකච්ඡා කරලා තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. මේකත් විශේෂ අවස්ථාවක්. පාර්ලිමේන්තුවේත් වැවිලි, කර්මාන්ත, කෘෂි කර්මාන්ත ඇමතිවරු අපි ඔක්කොම එක ළඟ ඉන්නේ.

‍ (vi) ගරු කථානායකතුමනි, ඇත්තටම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇපකර ප්‍රශ්නය තමයි දිගටම තිබුණේ. එම නිසා අපි දැන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ජාතික ණය සුරැකුම් ආයතනයත් එක්ක ඒකාබද්ධ වෙලා අප විසින් ඇපකර ලබා දීලා, ඒ කියන්නේ කුඩා ව්‍යවසායකයන් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය ඇප වෙලා, ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේ දක්ෂතාව, ඔවුන්ගේ කර්මාන්ත ඇපය හැටියට අරගෙන, දේපළ හෝ රජයේ සේවකයන් ඇපයට තබා ගන්නේ නැතිව ණය ලබා දෙනවා. එමඟින් ඔවුන්ට ලොකු සහනයක් ලැබී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් 2025 ජනවාරි ඉඳලා 2026 පෙබරවාරි දක්වා මෙවැනි ඇපකර ණය රුපියල් 25,427,000ක් ලබා දී තිබෙනවා. ඒ සඳහා වන ඇපකර ගණන 6ක් වනවා.

ඒ වාගේම කාන්තා ‍ව්‍යවසායකයන් වෙනුවෙන් වන ඇපකර වටිනාකම රුපියල් 192,117,000ක් වනවා. ඊට අදාළ ඇපකර ගණන 41ක් වනවා. අවශ්‍ය නම්, එම ඇපකර අංශ හැටියට කියන්න අපට පුළුවන්. කෘෂි අංශය, ආහාර සැපයීමේ සේවාව, නිෂ්පාදන හැටියට බේකරි නිෂ්පාදන, ස්වර්ණාභරණ නිෂ්පාදන, ඒ වාගේම ඖෂධ - ෆාමසි, සහල් මෝල්, ගරාජ්, සංචාරක, වෙළෙඳාම් වගේ අංශ ඇතුළත් ඇපකර 41ක් සඳහා ණය ලබා දී තිබෙනවා. ඒ විධියට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ඇපකර 41ක් සඳහා රජය ඇප වෙලා රුපියල් මිලියන 192කට අධික මුදලක් - රුපියල් 192,117,000ක මුදලක් - ලබා දී තිබෙනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාත් ඒ විධියට ලබා දෙනවා.

(vii) දැනට එවැනි සැලැස්මක් නැහැ. Packaging industry එක අපි වෙනම ක්‍රියාත්මක කරනවා. ශක්‍යතා අධ්‍යයනයක් කරලා මඩකලපුව දිස්ත්‍රික්කයේ එවැනි packaging industry එකකට ඉඩක් තිබෙනවා නම්, එම දිස්ත්‍රික්කය සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න කියා අපි ඔබතුමන්ලාගෙනුත් ඉල්ලීමක් කරනවා. එත‍කොට ඒක සලකා බලන්න අපට පුළුවන්.

(viii) මේ වෙනුවෙන් අපි බොහෝ පියවර අරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත හා නිෂ්පාදන සඳහා ISO, GMP, SLS වැනි ප්‍රමිතීන් ලබා ගැනීම ඔවුන්ට අවශ්‍ය කරන සහාය ලබා දීම සහ ආනයනික භාණ්ඩ සමඟ ඇති තරගකාරිත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ප්‍රමිතීන් අපි සහතික කර තිබෙනවා, වෙළෙඳ අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙලා.

ඒ වාගේම දේශීය කර්මාන්තකරුවන්ට ආනයනික භාණ්ඩත් එක්ක තරග කරන්න අවශ්‍ය හැකියාව ලබා දීම සඳහා අපි අළෙවි ප්‍රවර්ධනයන් ක්‍රියාත්මක කරනවා; අළෙවි ප්‍රදර්ශන පවත්වනවා වාර්ෂිකව.

ගරු කථානායකතුමනි, දැනට අපේ රටේ පාවහන්, රබර් නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමින් තරග කරන්න පුළුවන් තත්ත්වයක තිබෙනවා. අපේ රබර් නිෂ්පාදනවලට විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වාගේම අපේ tiles, bathware, wall tiles සහ floor tiles ආනයනික භාණ්ඩවලට වඩා ඉදිරියෙන් තිබෙනවා. අපේ නිෂ්පාදනවලට අදාළව වැඩිපුර පහසුකම් ලබා දීලා, මිල අඩු කරලා ආනයනික භාණ්ඩ එක්ක තරග කරන්න පුළුවන් අවස්ථාව හදා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වාගේම Anti-Dumping and Countervailing Duties Act, No. 2 of 2018 අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. ඒක commission කළාම, ඒ යටතේ ආනයනික quality එක අඩු භාණ්ඩ වෙළෙඳ පොළෙන් ඉවත් කරලා අපේ නිෂ්පාදනවලට ඉඩ හදා දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ වාගේම අමුද්‍රව්‍ය, බලශක්තිය සහ යටිතල පහසුකම් අපේ අයට ලබා දීම තුළින් නිෂ්පාදන පිරිවැය අඩු කරන්න අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

මම මේ කාරණයත් සතුටින් කියන්න කැමැතියි. පසුගිය දා කැබිනට් මණ්ඩලය අනුමත කළා, එක වාගේ පහසුකම් දෙන අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ ආයතන තුනක් - කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය - ඒකාබද්ධ කරන්න. අපි ඒ ආයතන තුන එකතු කරලා ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන හා නවෝත්පාදන අධිකාරිය පිහිටුවනවා. ඒ තුළින් අපේ කර්මාන්තකරුවන්ට ඉතා ඉක්මනින් පහසුකම් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-06-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks