E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1825/2026: මාර්ග සහ දුම්රිය රක්ෂිත ඉඩම්වල අනවසර ගොඩනැඟිලි: ඉවත් කිරීම

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු වන මාර්ග සහ දුම්රිය මාර්ගයන්හි රක්ෂිත ඉඩම් අත්පත් කරගෙන අනවසර ගොඩනැගිලි ඉදිකර ඇති බව දන්නේද;

(ii) එම ගොඩනැගිලි ඉවත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) ඉහත ආයතන මඟින් නඩත්තු වන මාර්ගයන්හි වැසි ජලය බැස යෑම සඳහා පවතින ඇළ මාර්ග නඩත්තු කිරීම සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන ආයතන කවරේද;

(iv) වැසි ජලය බැස යෑම සඳහා පවතින ඇළ මාර්ග අවහිර වීමෙන් ඇතිවන ගංවතුර තත්ත්වය වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු ආයතන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ඔව්.

              (ii)       මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු වන මාර්ග සහ දුම්රිය මාර්ගයන්හි රක්ෂිත ඉඩම් අත්පත් කරගෙන ඉදිකර ඇති අනවසර ‍ගොඩනැඟිලි ඉවත් කිරීමට අදාළව එම ආයතන දෙක විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතී.

(iii) Ø වැසි ජලය බැස යාම සඳහා මාර්ග රක්ෂිත තුළ පවතින කානු හා ඇළ මාර්ග පමණක් නඩත්තු කිරීමේ බලතල මාර්ග සංවර්ධන අධිකාරිය සතු අතර, එම කටයුතු අධිකාරිය විසින් සිදු කරයි. මාර්ග රක්ෂිතවලින් බාහිර ඇළ මාර්ග නඩත්තු කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නොපැවරේ.

Ø දුම්රිය රක්ෂිතයේ දුම්රිය මාර්ගය දෙපස ජලය බැස යන කානු පද්ධතිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරයි.

(iv) ඇළ මාර්ගවලින් ගලා යන ජලය දුම්රිය මාර්ගය හරහා ගලා බැසීම සඳහා ඇති බෝක්කු ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී අදාළ පළාත් පාලන ආයතන හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතන විසින් වැසි ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලීම් කරන අවස්ථාවලදී එම ස්ථාන පුළුල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරයි.

(v) එම ඇළ මාර්ග අයත් ආයතන හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් සිදු කළ යුතුය.

Ø අදාළ පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා)

Ø වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Ø ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුව

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks