04

E   |     |  

 දිනය: 2026-02-17   පිළිතුර ලබා දී ඇත 

1785/2026: විදේශීය සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත ආරක්ෂක සේවා සපයන ආයතන සහ සමාගම්: විස්තර

----

අසන ලද දිනය

2026-02-17

අසන ලද්දේ

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2009 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

              (ii)      ශ්‍රී ලංකා නාවික හමුදාව.

(ආ)         (i)      2012 ඔක්තෝබර් මස 15වන දින ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම අතර ස්ථාපිත ඒකාබද්ධ ව්‍යාපෘතිය (RALL-AGMS Joint Venture - JV) වෙත පවරා දී ඇත.

2015 නොවැම්බර් මස 13වන දින සිට එම ව්‍යාපෘතිය නැවත ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා දීලා තිබෙනවා.

2021 සැප්තැම්බර් මස 15වන දින සිට නැවත ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම අතර ස්ථාපිත ඒකාබද්ධ ව්‍යාපෘතිය (RALL-AGMS Joint Venture - JV) වෙත පවරා දී තිබෙනවා.

අපි බලයට පත් වූ පසු ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව 2025 අගෝස්තු මස 10වන දින සිට අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද එම සේවා සැපයීමට අනුමැතිය ලබා දීලා තිබෙනවා.

(ii) රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම අතර ස්ථාපිත ඒකාබද්ධ ව්‍යාපෘතිය (RALL-AGMS Joint Venture - JV) හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙන් වෙන් වශයෙන් මෙම සේවා සපයා තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/1435/303/115 දරන, 2021 අගෝස්තු මස 03වන දිනැති අමාත්‍ය මණ්ඩල සටහන පිළිබඳව ගෙන ඇති 2021 අගෝස්තු මස 09වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් RALL-AGMS ඒකාබද්ධ ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් - public-private partnership (PPP) - වශයෙන් ස්ථාපිත කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 25/1165/803/031 වූ, 2025 ජූනි මස 18වන දිනැති අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජනා 2025 ජූලි මස 07වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මත 2025 අගෝස්තු මස 13වන දිනැති අංක 2449/27 දරන අති විශේෂ ගැසට් පත්‍රිකාව පරිදි 2025 අගෝස්තු මස 10වන දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද මෙම සේවා සැපයීම සඳහා අනුමැතිය ලබා දීලා තිබෙනවා.‍

(iii) ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම අතර ස්ථාපිත ඒකාබද්ධ ව්‍යාපෘතිය (RALL-AGMS Joint Venture - JV)

2012 ඔක්තෝබර් මස 15වන දින සිට 2015 නොවැම්බර් මස 13වන දින දක්වා - ඒ කාල වකවානුව තුළම - ලැබූ ආදායම සම්බන්ධ දත්ත ආරක්ෂක අමාත්‍යාංශය සතුව නැහැ. මොකද, ඒ පෞද්ගලික සමාගම විසින් තමයි සියලු ආදායම් ලබා තිබෙන්නේ.

2021 සැප්තැම්බර් මස 15වන දින සිට 2025 ජූලි මස 31වන දින දක්වා කලින් කියන ලද රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම RALL-AGMS ඒකාබද්ධ ව්‍යාපෘතිය මඟින් උපයා ඇති සම්පූර්ණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 14.12ක්. එකී ඒකාබද්ධ ව්‍යාපෘතියේ පාර්ශ්වයන් ලද ආදායම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කරන ලද ගෙවීම් පිළිබඳ විස්තරය පහත දැක්වේ.

අනු අංක

වර්ෂය

RALL-AGMS හවුල් ව්‍යාපාරයේ සම්පූර්ණ ආදායම (ඇමෙරිකානු ඩොලර්)

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම ලබා ගත් සියයට 80.75 (ඇමෙරිකානු ඩොලර්)

රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත ගෙවූ සියයට 4.25 අගය (ඇමෙරිකානු ඩොලර්)

නාවික හමුදාව වෙත ගෙවූ සියයට 15 අගය (ඇමෙරිකානු ඩොලර්)

1

2021 සැප්තැම්බර් 15 සිට 2021 දෙසැම්බර් 31

1,383,205.00

1,116,937.79

58,786.21

207,481.00

2

2022 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31

3,832,310.00

3,094,590.33

162,873.18

574,846.50

3

2023 ජනවාරි 01 සිට 2023 දෙසැම්බර් 31

2,881,680.00

2,326,956.60

122,471.40

432,252.00

4

2024 ජනවාරි 01 සිට 2024 දෙසැම්බර් 31

4,394,080.00

3,548,219.60

186,748.40

659,112.00

5

2025 ජනවාරි 01 සිට 2025 ජූලි 31

1,631,400.00

1,317,322.49

69,334.51

244,710.00

එකතුව

14,122,675.00

11,404,026.80

600,213.70

2,118,401.50

  • 2025 අගෝස්තු මස 01වන දින සිට 2025 නොවැම්බර් මස 30වන දින දක්වා කාල සීමාවට අදාළව RALL-AGMS ඒකාබද්ධ ව්‍යාපෘතියේ ආදායම සම්බන්ධයෙන් සනාථ කරන ලද තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත.

අපි බලයට ඇවිල්ලා  නැවතත් ඒ ගැන සලකා බලා නාවික හමුදාව වෙත මෙම සේවාව ලබා දුන්නා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2025 ඔක්තෝබර් මස 03වන දින සිට 2026 පෙබරවාරි 08වන දින දක්වා ස්වාධීනව සිදු කරන ලද මෙහෙයුම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 598,250ක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙනවා. ලබා ගත් ආදායම් විස්තරය පහත දැක්වේ.

අනු අංකය

කාල සීමාව

මෙහෙයුම් ප්‍රමාණය

ආදායම (ඇමෙරිකානු ඩොලර්)

01

2025 ඔක්තෝබර් 03 සිට 31 දක්වා

01

1,750.00

02

2025 නොවැම්බර්

07

29,900.00

03

2025 දෙසැම්බර්

126

218,450.00

04

2026 ජනවාරි

147

243,800.00

05

2026 පෙබරවාරි 01 සිට 08 දක්වා

42

27,050.00

එකතුව

323

598,250.00

 

 

 

 

 

(iv) පාර්ශ්ව තුනක් එතැනට සම්බන්ධ වුණා. ඒ පාර්ශ්ව තුන තමයි, නාවික හමුදාව, රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම. ඒ අනුව, ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම අතර ස්ථාපිත ඒකාබද්ධ ව්‍යාපෘතියට සපයනු ලබන සේවාවන් වෙනුවෙන් එහි මුළු ආදායමෙන් සියයට 15 නාවික හමුදාව වෙත ශ්‍රී ලංකා රුපියල් වශයෙන් තමයි ගෙවා තිබෙන්නේ. ඒ, ඇමෙරිකානු ඩොලර් වශයෙනුත් නොවෙයි, ශ්‍රී ලංකා රුපියල් වශයෙන්. ඉන් අනතුරුව ඉතුරු වන මුදලින් සියයට 5ක්, එනම්  සම්පූර්ණ ආදායමෙන් සියයට 4.25ක් තමයි රක්නා ආරක්ෂක ලංකා සමාගමට හිමි වෙලා තිබෙන්නේ.

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම වෙත ඒකාබද්ධ ව්‍යාපෘතියේ ආදායමින් සියයට 80ක ප්‍රමාණයක් හිමි වෙලා තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සේවාවන් වෙනුවෙන් ලබපු ඒ සියයට සියයක ආදායම ශ්‍රී ලංකා රජයට හිමි වෙලා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රුපියල්වලින්.

 

(ඇ) (i) රුපියල් බිලියන 2.39ක මුදලක් ලැබී ඇත.

RALL-AGMS ඒකාබද්ධ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදු කර ඇති ගෙවීම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

අනු අංකය

කාලය

ආදායම ඇමෙරිකානු ඩොලර් (USD)

ආදායම රුපියල් (Rs)

1

2012.10.15 සිට 2014.11.30

13,818,761.97

1,757,553,232.18

2

2014.12.01 සිට 2015.11.13

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම විසින් රුපියල් මිලියන 782ක මුදල ගෙවා නොමැත.

3

2021.09.15 සිට 2025.07.31

2,118,401.50

633,639,240.41

4

2025.08.01 සිට 2025.11.30

නාවික හමුදාව වෙත ගෙවීම් සිදු කර නොමැත.

එකතුව

15,937,163.47

2,391,192,472.59

(ii) රක්නා ආරක්ෂක ලංකා සමාගම සහ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම අතර අත්සන් තබා ඇති 2012 දෙසැම්බර් මස 15වන දිනැති අංක 36 දරන RALL-AGMS ඒකාබද්ධ ව්‍යාපෘතියේ ගිවිසුමේ 1.14 වගන්තිය අනුව ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම විසින් තමයි ගාස්තු තීරණය කර  තිබෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද සේවා වෙනුවෙන් 2012 දෙසැම්බර් මස 15වන දින සිට 2013 ජනවාරි 31වන දින දක්වා එක් මෙහෙයුමකින් ඇමෙරිකානු ඩොලර් 1,000ක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ගෙවා තිබෙනවා. පසුව එකී ගාස්තුව එක් මෙහෙයුමක ගාස්තුවෙන් සියයට 28ක්, සියයට 25ක් සහ සියයට 17ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, එම මුදල් ශ්‍රී ලංකා රුපියල් වශයෙන් ගෙවීමටත් ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම විසින් තීරණය කර  තිබෙනවා.

2021 සැප්තැම්බර් මස 15වන දින සිට 2025 නොවැම්බර් මස 30වන දින දක්වා කාලය තුළ ඒකාබද්ධ ව්‍යාපෘතියේ ගිවිසුම සහ 2022 නොවැම්බර් මස 17වන දිනැති ගිවිසුම් අතිරේකය මඟින් සංශෝධිත 2021 ජූනි මස 17වන දිනැති අංක 1717 දරන ඒකාබද්ධ ව්‍යාපෘති ගිවිසුමේ 1.11 වගන්තිය අනුව, පසුව සාදා ගත් ඒ ගිවිසුම අනුව, එකී හවුල් ව්‍යාපාරය විසින් පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත සපයනු ලබන සේවාවන් සඳහා ගාස්තු තීරණය කිරීම ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පෞද්ගලික) සමාගම විසින් තමයි සිදු කර තිබෙන්නේ.

(iii) ත්‍රිවිධ හමුදාව විසින් ගිනි අවි වර්ග කිසිවක් ලබා දීලා නැහැ. ගිනිඅවි වශයෙන් කිසිම මුදලකුත් ලබාගෙන නැහැ.

(iv) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks