E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1658/2026: මහමෝදර පැරණි මාතෘ රෝහල: වර්තමාන තත්ත්වය

ගරු චානක මාදුගොඩ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ගාල්ල, මහමෝදර පැරණි මාතෘ රෝහලේ මුළු භූමි ප්‍රමාණය කොපමණද;

             (ii)      එම රෝහල් පරිශ්‍රයේ දැනට ඉතිරිව ඇති රජය සතු දේපළ කවරේද;

           (iii)       එම රෝහල් ගොඩනැගිල්ල තුළ දැනට සෞඛ්‍ය කාර්යයන් සිදු කරනු ලබන්නේද;

(iv) එම පරිශ්‍රය වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන්නේද;

(v) එසේ නම්, එලෙස සැලසුම් කර ඇති කාර්යය කවරේද;

(vi) මහ‍මෝදර පැරණි මාතෘ රෝහලට වඩා කරාපිටිය ‘හෙල්මුට් කෝල් අනුස්මරණ මාතෘ (ශික්ෂණ) රෝහල’ මඟින් ලබාදෙන සේවාවන් සහ පහසුකම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ගාල්ල, මහමෝදර පැරණි මාතෘ රෝහලේ මුළු භූමි ප්‍රමාණය අක්කර 6.8යි.

                        බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ල, නිල නිවාස සහ ගාල්ල හෙද විදුහල සහිත ඉඩමෙහි භූමි ප්‍රමාණය අක්කර 4.8යි.

                        මුළු භූමිප්‍රමාණය අක්කර 11.6යි.

              (ii)      වාට්ටු හා ඒකක පවත්වාගෙන යන ලද ගොඩනැඟිලි. දැන් ඒවායේ වාට්ටු පවත්වාගෙන යන්නේ නැහැ.

විදුලි ජනක යන්ත්‍ර සහිත ගොඩනැඟිල්ල.

වාට්ටු අංක 4 වහලය මත සූර්ය පැනල සවි කර  තිබෙනවා.

ජල මෝටර් සහිත ජලය රැස් කරන ටැංකිය පවතිනවා.

(iii) ඔව්. එම රෝහල ගොඩනැඟිල්ල තුළ පහත පරිදි සෞඛ්‍ය කාර්යයන් සිදු කරනවා.

දෛනික බාහිර රෝගී අංශ සහ දන්ත සායන සේවා පවත්වාගෙන යනවා.

ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ සායන පවත්වාගෙන යෑමේ කටයුතු සිදු කරනවා.

බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ලේ කොටසක ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවත්වාගෙන යනවා.

වාට්ටු අංක 08 ගොඩනැඟිල්ල නවීකරණය කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ ඒකකයේ සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.

වාට්ටු සහිත ඉඩමේ එම වාට්ටු අංක 01, 02, 03, 06, 07 ගොඩනැඟිලි වෛද්‍ය සැපයීමේ අංශයේ ගඩබා ලෙස භාවිත කර තිබෙනවා.

ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල තුළ හෙද නිලධාරිනියන් සඳහා නේවාසික පහසුකම් නොමැති නිසා ඒ සඳහා මහමෝදර රෝහලේ හෙද නේවාසිකාගාර ගොඩනැඟිල්ල භාවිත කරනවා.

(iv) තාවකාලිකව වෙනත් කාර්යයන් වෙනුවෙන් යෙදවීමට යෝජිත අතර 2026.06.11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම ඉඩම යෙදවීම සම්බන්ධ  උපදෙස් ලබා දී ඇත.

(v) මහමෝදර රෝහල් භූමියෙන් කොටසක් තාවකාලික පදනම මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති අය රඳවා තබා ගැනීම පිණිස බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2026.01.21 දින ලබා ගෙන තිබෙනවා. එය ඇමුණුම මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

එහි අක්කර 4යි, පර්චස් 3.91 වපසරියක් සහිත ඉඩම් කොටස මීගමුව බන්ධනාගාරයේ උද්ගත වූ ගැටලුසහගත තත්ත්වය  මත වැට ආවරණ කටයුතු සිදු කිරීමට ආරක්ෂක හමුදා අංශ වෙත භාර කර ඇති බවද, අලුත්වැඩියා කටයුතු සඳහා බන්ධනාගාර දෙපාර්ත‍මේන්තුව මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

ඒ වාගේම 2026.06.11 දින මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවති අතර, එහි දැනට යෝජිත ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත එම ඉඩමෙන් කොටසක් ලබා දීම හා සබැඳිව පහත කරුණු සාකච්ඡා වෙලා තිබෙනවා.

i. ගාල්ල හෙද විදුහල දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර කරාපිටිය ප්‍රදේශයේ හඳුනාගෙන ඇති භූමි ප්‍රදේශයකට විතැන් කිරීම.

ii. මහමෝදර පැරණි වාට්ටු තිබූ ස්ථානය දැනට යෝජිත පරිදි තැපැල් කාර්යාලය සහ පොලිස් ස්ථානයක් සඳහා යොදා ගැනීමට තාවකාලිකව වෙන් කරදීම.

iii. වෛද්‍ය සැපයුම් ඒකකය සතු ගබඩා අලුතින් ඉදිකිරීම සඳහා සුදුසු භූමියක් හඳුනා ගැනීම.

iv. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි පුහුණු මධ්‍යස්ථානය ලෙස භාවිත කරන ස්ථානය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියේදී තීරණය කිරීම.

v. මනෝ වෛද්‍ය බාහිර රෝගී අංශය පැවැති ස්ථානය තවදුරටත් පවත්වාගෙන යන බැවින් එහි අවශ්‍යතාවක් පවතීද යන්න තීරණය කිරීම.

   (vi) මහමෝදර රෝහලේ පවත්වාගෙන යන ලද සේවාවලට අමතරව ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේ පහත සඳහන් සේවා පවත්වාගෙන යනු ලබනවා.

ETU - හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම.

Subfertility ඹnit - මඳසරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමේ ඒකකයක් ආරම්භ කර පවත්වාගෙන යෑම.

Surgical Oncology Gin Unit - නාරිවේද පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ වාට්ටුවක් ස්ථාපිත කර පවත්වාගෙන යෑම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks