E   |     |  

 දිනය: 2026-05-22   පිළිතුර ලබා දී ඇත 

1643/2026: පානීය ජලය සැපයීම: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

1643/2025

ගරු ඉම්රාන් මහරූෆ්  මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)   ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පානීය ජලය සපයා ඇති ප්‍රදේශ කවරේද;

(ii) එම දිස්ත්‍රික්කයේ මේ දක්වා පානීය ජලය ලබාදී නොමැති ප්‍රදේශ කවරේද;

(iii) කුච්චවේලි, පුඩවයික්කට්ටු, තිරියාය සහ සලෙප්පේයාරු ප්‍රදේශවලට පානීය ජලය සපයා නොමැති බැවින්, එම ප්‍රදේශවල ජීවත් වන පවුල් 4,000ක් පානීය ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණදී ඇති බව දන්නේද;

        (iv) එම ප්‍රදේශවලට කඩිනමින් පානීය ජලය සැපයීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-22

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස 230ක් පවතී. එකී සම්පූර්ණ ග්‍රාම නිලධාරි කොට්ඨාසයන්ගෙන් කොට්ඨාස 185ක් සඳහා මේ වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් නල ජල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

පහත ඇමුණුමෙහි සඳහන් පරිදි දැනට එම ප්‍රදේශ වෙත ජලය බෙදා හරිනු ලබයි.

(ii) ඉහත ඇමුණුමෙහි සඳහන් කර ඇති පරිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව, ගෝමරන්කඩවල හා පදවි ශ්‍රී පුර යන ප්‍රදේශ සඳහා ද, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් සඳහා ද, කින්නියා එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් සඳහා ද, කුච්චවේලි ග්‍රාම නිලධාරි කොට්ඨාස 13ක් සඳහා ද දැනට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් නල ජල පහසුකම් ලබා දී නොමැත.

(iii) මේ වන විට අපගේ ජල සැපයුම් ලබා දී ඇත්තේ එරක්කන්ඩි පාලම තෙක් පමණි. එතැන් සිට ජල නල දීර්ඝ කිරීමකින් ජලය ලබා දීමද මේ වන විට ප්‍රායෝගික නොවේ. ඒ මන්ද යත්, මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කාර්මික අවශ්‍යතාවන් සඳහා ජල ඉල්ලුම ඉතා අධිකව පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත ජලය ලබා දීම සඳහා කන්තලේ ජල පවිත්‍රාගාරය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ තත්ත්වය යටතේ වුවද ලබාදෙන ජල සැපයුම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයන් සඳහාද ප්‍රමාණවත් නොවේ. ඒ හේතුවෙන් කුච්චවේලි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 13ක්ද, පුඩවයික්කට්ටු, තිරියාය සහ සලෙප්පේයාරු යන ප්‍රදේශ සඳහා පානීය ජල පහසුකම් ලබා දීමට නොහැකි වී ඇත.

(iv) දැනට ජල සැපයුම ලබා දී නොමැති ප්‍රදේශ සඳහා (ඉහත ප්‍රශ්න අංක iii හි සඳහන් ප්‍රදේශද ඇතුළුව) මොරවැව, පදවි ශ්‍රී පුර, ගෝමරන්කඩවල, කුච්චවේලි ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ජල සැපයුම ලබා දීමට කටයුතු සූදානම් කර ඇති අතර මේ වන විට එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ව්‍යාපෘති ඇගයීම සිදු කර ඉඩම් හඳුනාගෙන ඇත. නමුත්, 2021 වර්ෂයේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එම ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට නතර වී ඇත.

තවද Improvement of the Greater Trincomalee Integrated Water Supply Scheme මඟින් කින්නියා නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඉතිරි ග්‍රාම නිලධාරි කොට්ඨාසයන් සඳහා අවශ්‍ය පානීය ජල අවශ්‍යතාව සපුරාලීමටත් දැනට පවතින ජල සැපයුම වැඩි දියුණු කර අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමට සැලසුම් සකස් කර ඇත. දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති ඇගයීම් කමිටුවේ අනුමැතිය සහ ජලසම්පාදන මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන මේ වන විට ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. සරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks