E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

1638/2026: ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය: පුරප්පාඩු

.

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ශ්‍රී ලංකා අධ්‍යාපන    -       පුරප්පාඩු 903

  පරිපාලන සේවය                        

ශ්‍රී ලංකා විදුහල්පති           -           පුරප්පාඩු 3,790

සේවය                                                

              (ii)      ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

විවෘත, සීමිත සහ සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත 2021.06.30 දිනට පැවති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පැවති තරග විභාග හා වාචික සම්මුඛ පරීක්ෂණ මත පිළිවෙළින් විවෘත පදනම මත පත්වීම් 88ක් 2025.07.01 දින ද, සීමිත පදනම මත පත්වීම් 411ක් 2025.10.23, 2025.09.01, 2025.12.01 දිනවල ද, සේවා පළපුරුද්ද හා කුසලතා පදනම මත පත්වීම් 67ක් 2024.07.01, 2025.03.03 දිනවල ද ලබා දී ඇති අතර, ඇතැම් නිලධාරින් එම පත්වීම් භාර නොගැනීම හා අවසාන කඩඉම් ලකුණට සම ලකුණු ලැබූ නිලධාරින් විශාල සංඛ්‍යාවක් සිටීම මත තවදුරටත් ඉහත දිනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා 2026 මාර්තු මස දෙවන සතිය තුළදී සාමාන්‍ය හා වාචික සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය. (සීමිත පදනම මත පුරප්පාඩු 3ක්, විවෘත පදනම මත පුරප්පාඩු 25ක් සඳහා)

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම අවසන් කිරීමෙන් අනතුරුව විවෘත, සීමිත සහ සේවා හා කුසලතා පදනම් යටතේ, 2021.06.30 - 2025.06.31 දින දන්වා අලුතින් ඇති වී ඇති පුරප්පාඩු යනුවෙන් ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත තරග විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරනු ලැබේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවය

අංක 1885/31 හා 2014.10.22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ‍සේවා ව්‍යවස්ථාවට හා එහි සංශෝධනවලට අනුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නව බඳවා ගැනීම් සඳහා අංක 2463 හා 2025.11.14 දිනැති රජයේ ගැසට් පත්‍රය මඟින් සීමිත ලිඛිත තරග විභාගයට අයදුම්පත් කැඳවා ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

‍(iii) ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරින් බඳවා ගැනීම උසස්වීමක් ලෙස නොසලකන අතර, නව බඳවා ගැනීමක් ලෙස සලකා කටයුතු කෙරේ.

(iv) ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය වෙන වෙනම සේවා ව්‍යවස්ථා දෙකක සඳහන් විධිවිධාන අනුව ක්‍රියාත්මක වන වෙනස් සේවාවන් ‍දෙකකි.

(ශ්‍රී ලංකා ගුරු සේවය අංක 1885/83 හා 2014.10.23 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත (පසුව සංශෝධිත) ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා විදුහල්පති සේවය අංක 1885/31 හා 2014.10.22 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත (පසුව සංශෝධිත) ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වේ.) තවද, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පිවිසීමට හැකියාව ඇත්තේ විදුහල්පති ව්‍යවස්ථා සංග්‍රහය අනුව මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇති, ශ්‍රී ලංකා ගුරු සේවයේ තනතුර ස්ථිර කරන ලද ගුරු සේවයේ නිලධාරින්ට පමණි.

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 03/2014 අනුව සහ ආයතන සංග්‍රහයේ පළමු කාණ්ඩයේ VII පරිච්ඡේදයේ 4 වගන්තිය අනුව නව බඳවා ගැනීමක් සේ සලකා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පිවිසෙන නිලධාරින්ගේ වැටුප සකස් කිරීම කළ යුතුය.

නමුත්, ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පිවිසෙන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධරයකුගේ වැටුප පරිවර්තන කිරීමේදී ඒ සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2017 හි විධිවිධාන අදාළ කර ගැනීමට (එනම් නිශ්චිතව නම් කළ වෙනත් සේවාවක/තනතුරක සිට පත්වීම් ලබන නිලධරයකුගේ වැටුප සකස් කිරීම යටතේ ආයතන සංග්‍රහයේ පළමු කාණ්ඩයේ VII පරිච්ඡේදයේ 5 වගන්තිය පරිදි උසස්වීමක් සේ සලකා වැටුප සකස් කිරීමට) අනුමැතිය විමසමින් නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

 

(v) ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 13 වගන්තිය අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ගේ නිපුණතා හා ධාරිතා සංවර්ධනය සඳහා පහත සඳහන් පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

  • · සේවාරම්භක පුහුණුව ලබාදීම
  • · ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව I (II ශ්‍රේණියට උසස්වීමට පෙර)
  • · ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව II (I ශ්‍රේණියට උසස්වීමට පෙර)

ඊට අමතරව පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් කාලීන අවශ්‍යතා මත විවිධ ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ දැනුවුත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks