පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1572/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ සිටින ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට තම වෘත්තීය කටයුතුවලදී, ප්‍රමාණවත් නොවන ගෙවීම්, නිසි කලට ගෙවීම් නොලැබීම, රැකියා සුරක්ෂිතතාව, ජීවිත ආරක්ෂාව, පුහුණුවීම් සහ සුබසාධන යෝජනා ක්‍රම නොමැති වීම වැනි ප්‍රධාන ගැටලු වලට මුහුණ දීමට සිදුවන බව දන්නේද;
(iii) එම ගැටලු විසඳීම සඳහා රජය විසින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා අඩු පොලී ණය යෝජනා ක්‍රමයක්, නිසි පුහුණු වැඩසටහන් සහ ක්‍රියාකාරී රක්ෂණ යෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;
(v) එසේ නම්, ඒ සඳහා අපේක්ෂිත කාල රාමු කවරේද;
(vi) ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-03
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.12.31 දින වන විට වලංගු මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කර ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සංඛ්‍යාව 876කි.
(ii) ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට මාධ්‍ය ආවරණ සඳහා කරනු ලබන ගෙවීම්, ඇතැම් මාධ්‍ය ආයතන වෙතින් ප්‍රමාද වන බව ඒ මාධ්‍යවේදීන් වාර්තා කර තිබෙනවා.
(iii) ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත ගෙවිය යුතු හිඟ ගෙවීම් කඩිනමින් සිදුකරන ලෙසට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුවත් කිරීම් සිදුකර ඇත.
(iv) ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම හා තාක්ෂණික ප්‍රවේශයන් සඳහා සහයක් ලබා දීම වෙනුවෙන් 2026 වර්ෂයේ අය වැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, 2025 අවුරුද්දේදී රුපියල් මිලියන 7යි වෙන් කරලා තිබුණේ. ඒ අරමුදල් පාවිච්චි කරලා මාධ්‍යවේදීන් 61දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා. මේ අවුරුද්දේදී ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 54කුත්, තාක්ෂණික ප්‍රවේශය සඳහා රුපියල් මිලියන 50කුත් වශයෙන් තමයි අපට මුදල් වෙන් වෙලා තිබෙන්නේ. ඒ අනුව මේ තාක්ෂණික ප්‍රවේශය සඳහා වන රුපියල් මිලියන 50 මේ මාධ්‍යවේදීන්ගේ ධාරිතා, කුසලතා සංවර්ධනය වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම මේ අවුරුද්දේදී මේ රුපියල් මිලියන 50කට ආසන්න ප්‍රමාණය පාවිච්චි කරලා වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.
(v) මේ කියපු දේවල් අපි මේ වසරේදී අවසන් කිරීමට තමයි අපේක්ෂා කරන්නේ.
(vi) යහපත් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් වැරදි තොරතුරු හෝ වෛරී ප්‍රකාශයන්ගෙන් තොර මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් පළාත් මට්ටමින් පවත්වනවා.
තවද, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතාවය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය නමින් ආයතනයක් පිහිටුවීමටත්, එය නියාමනය කිරීමට ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනතක් කෙටුම්පත් කෙරෙමින් පවතී. ගරු කථානායකතුමනි, මෙය ආරම්භ වෙලා වසර කිහිපයක් වෙනවා. දැන් එහි කටයුතු අවසන් අදියරේ පවතින්නේ.
මීට අමතරව, මාධ්‍යවේදීන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා 2025 වසර තුළ දිස්ත්‍රික් වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් කුසලතා ප්‍රවර්ධන වැඩසටහන් පවත්වා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය අවුරුද්දේදී වැඩමුළු 17ක් පැවැත්වූවා. මේ වසරේ තවත් වැඩමුළු 12ක් පැවැත්වීමට සැලසුම් කරලා තිබෙනවා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ රැකියා පහසුව තහවුරු කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරලා තිබෙනවා. එහෙම ලබා නොගත් අයට යළිත් අයදුම්කර එය ලබා ගන්නට පුළුවන්.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks