පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පූනුගල-වේවැල්තලාව වතු මාර්ගය ආශ්‍රිතව වන රක්ෂිතයක් පවතින බව දන්නේද;
(ii) එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වය හා ඊට ආවේණික ලක්ෂණ කවරේද;
(iii) ඉහත වන රක්ෂිතය තුළ අනවසර ඉදිකිරීමක් පවතින බව දන්නේද;
(iv) එම වන රක්ෂිතය තුළ සිදු කරනු ලබන අනීතික ක්‍රියා පාලනය කිරීමට අදාළ වතු සමාගම සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(v) ඉහත වන රක්ෂිතය ආරක්ෂා කිරීමට අදාළ වතු සමාගම සහ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූනගල-වේවැල්තලාව වතු මාර්ගය ආශ්‍රිතව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් 2014.08.19 දිනැති 1876/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති අතර, එය අමනාවල (අම්පාන කොටස) සංරක්ෂණ වනාන්තරය ලෙස හැඳින්වේ. එය ඇමුණුමෙහි Google Earth සිතියමේ දම් පැහැයෙන් සලකුණු කර ඇත. එම ඇමුණුම සභාගත* කරමි.
ඊට අමතරව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට නියමිත සියයට 60ට වැඩි වන ආවරණයක් සහිත හල්ගොල්ලවත්ත නමැති වනාන්තරය ඒ ආශ්‍රිතව පවතී. එය, ඉහතින් සභාගත කරන ලද ඇමුණුමෙහි Google Earth සිතියමෙහි රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
(ii) මෙම රක්ෂිතය නිවර්තන තෙත් උප කඳුකර ලක්ෂණ දරන පරිසර පද්ධතියක් ලෙස හඳුනාගෙන ඇත. එමෙන්ම, මෙම පරිසර පද්ධතිය හොර, දුන්, ලියන් හා ඇටඹ වැනි ආවේණික ශාකවලින් සමන්විත වන අතර, ක්ෂීරපායින් ලෙස ගෝනා, මුවා, දිවියා, දඬුලේනා වැනි සතුන්ද, කෑඳැත්තා, වළි කුකුළා හා බස්සන් විශේෂ, ඒ වාගේම උරගයින් හා උභය ජීවින්ගෙන්ද සමන්විත වේ.
2014.08.19 දිනැති 1876/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සංරක්ෂණ වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කොට ඇති අමනාවල (අම්පාන කොටස) සංරක්ෂණ වනාන්තරය, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූනගල-වේවැල්තලාව වතු මාර්ගය ආශ්‍රිතව පිහිටා ඇත.
(iii) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු උක්ත අමනාවල (අම්පාන කොටස) සංරක්ෂණ වනාන්තරයේ හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට නියමිත හෙක්ටෙයාර 85කින් යුත් හල්ගොල්ලවත්ත නමැති වනාන්තරය තුළ කිසිදු අනවසර ඉදි කිරීමක් නොමැත.
(iv) අදාළ නොවේ.
(v) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු අමනාවල (අම්පාන කොටස) සංරක්ෂණ වනාන්තරය ගැසට් කර ඇත. ඒ අනුව, එම කොටස වන සංරක්ෂණ ආඥාපනත අනුව ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබේ.
වතු සමාගමට අයත් හෙක්ටෙයාර 85කින් යුත් හල්ගොල්ලවත්ත කොටස දැනට අත් පත් කර ගැනීමට කටයුතු කරමින් පවතී. එය අත් පත් කර ගැනීමෙන් පසු, වන සංරක්ෂණ ආඥාපනත අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර, ඉන් පසු ඉහත පරිදි ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks