01

E   |     |  

 දිනය: 2026-03-04   පිළිතුර ලබා දී ඇත 

1476/2026: තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති

.

අසන ලද දිනය

2026-03-04

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i),      (ii) ප්‍රශ්නවලට මම එකවර පිළිතුරු සපයන්නම්.

                        මෙහිදී ව්‍යාපෘති විධියට ගත්තොත්, ජාතික යෞවන ක්‍රීඩා උළෙල අපි 2025 වර්ෂයේදී පැවැත්වූවා. ඒකට රුපියල් ලක්ෂ 15ක් විතර වියදම් කළා. දිස්ත්‍රික් නාට්‍ය වැඩමුළුව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා රුපියල් 250,000ක් වියදම් කරලා තිබෙනවා. ඒ වාගේම, ජාත්‍යන්තර වැඩසටහන් සඳහා සහභාගි කරවන්න තරුණ තරුණියන් තෝරාගන්න වැඩසටහනක් තිබෙනවා. ඒ සඳහා අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජිතයන් දෙදෙනෙක් තෝරාගෙන බංග්ලාදේශයට හා ඉන්දියාවට යැව්වා. ඒ වාගේම, රැකියා අභිමුඛ පාඨමාලා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒකට අපි රුපියල් 314,000ක් වියදම් කර අභ්‍යාසලාභින් 185ක් පුහුණු කර තිබෙනවා. "Connect 2025" කියන යෞවන සමාජ 230ක් දිස්ත්‍රික්කය තුළ පිහිටුවලා තිබෙනවා. ජාතික තරුණ දිනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වූවා. අපි ඒකට රුපියල් 388,200ක් වියදම් කර තිබෙනවා. තරුණ තරුණියන් 125දෙනෙක් ඒකට සම්බන්ධ කර තිබෙනවා. නායකත්ව කඳවුරු වැඩසටහන් 11ක් ක්‍රියාත්මක කර තිබෙනවා, දිස්ක්‍රික්කයේ. ඒකට රුපියල් 628,000ක් වියදම් කර තිබෙනවා. ඒ වාගේම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අය වැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය කරන්න. ඒ තමයි ඒ ව්‍යාපෘති සහ ඒවා වෙනුවෙන් වෙන් කරන ලද මුදල.

වැඩිදුර විස්තර ඇමුණුම 01හි සඳහන් වේ. 

  (iii) ඔව්. අපි ඒක සැලසුම් කර තිබෙනවා. ඒකට අපි දැනටමත් රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා, ගරු කථානායකතුමනි. මීටර් 400 ධාවන පථයට රුපියල් මිලියන 50කුත්, ප්‍රේක්ෂකාගාරයට රුපියල් මිලියන 200කුත් සහ බාහිර වැඩ සඳහා රුපියල් මිලියන 50කුත් වෙන් කර තිබෙනවා. අපි දැනටමත් එහි ධාවන පථයේ කටයුතු නිම කරලා ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ  විවෘත කළා. ඉතුරු වැඩ ටික මේ අවුරුද්දේ නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම, තවත් රුපියල් මිලියන 50ක් විතර අපි මේ වසරේ වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා, පාසල්වල ක්‍රීඩාපිටි සංවර්ධනය සඳහා.

  (iv) යෝජිත ව්‍යාපෘති  හැටියට විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ක්‍රියාත්මක කරන්න බලාපො‍රොත්තු වෙනවා. මොකද, පසුගිය කාලවල එම දිස්ත්‍රික්කවල ‍‍   එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ නැහැ. ප්‍රාග්ධනය උතුරට, නැ‍ඟෙනහිරට ගලාගෙන ගියේ නැහැ. ඒ නිසා අපි මේ අවුරුද්දේ විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ජාතික යෞවන ක්‍රීඩා උළෙල, ප්‍රාදේශීය යෞවන ක්‍රීඩා, දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා, beach volleyball  තරග, එල්ලේ තරග අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ වාගේම යෞවන සම්මාන, යෞවන නාට්‍ය, සෞන්දර්ය නිකේතන, නාට්‍ය පාසල වැනි ජාතික ව්‍යාපෘති සඳහා අනෙකුත්  දිස්ත්‍රික්කවල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද තරුණ තරුණියන්ට සහභාගි වීමේ අවස්ථාව අපි හදලා තිබෙනවා. ඒවාගේම රැකියා අභිමුඛ පාඨමාලා ක්‍රියාත්මක කරන්න වැටසහනක් ක්‍රියාත්මක කරනවා. අභ්‍යාසලාභින් 200ක් විතර පළමුවැනි අදියරේදී අපි බලාපොරොත්තු වෙනවා. අපි Youth Circles හදලා තිබෙනවා. මේ වාගේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.  ඇමුණුම 02 වශයෙන් එම තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. 

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2026-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks