E   |     |  

 දිනය: 2026-03-18   පිළිතුර ලබා දී ඇත 

1469/2026: ගාල්ල, බෙලිගහ නව අධිකරණ සංකීර්ණය: නීති කටයුතු ආරම්භ කිරීම

1469/2025

ගරු චානක මාදුගොඩ මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ගාල්ල, බෙලිගහ, නව අධිකරණ සංකීර්ණය 2024 ජූලි 19 දින විවෘත කරන ලද නමුත් මේ වනතෙක් එහි නීති කෘත්‍යයන් ආරම්භ නොකිරීමට හේතුව කවරේද;

  (ii) එම අධිකරණ සංකීර්ණයේ නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන දින වකවානු කවරේද;

(iii) ඉහත සඳහන් නව සංකීර්ණයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ වනවිට අධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලබන ගාල්ල කොටුව පෞරාණික ගොඩනැගිලි හා එම පරිශ්‍රය භාවිත කිරීමට අපේක්ෂිත අරමුණු කවරේද;

(iv) ගාල්ල, බෙලිගහ, නව අධිකරණ සංකීර්ණයේ ගොඩනැගිලි සහ භූමිය මේ වනතෙක් භාවිතයට නොගැනීමෙන් සිදුවී ඇති අලාභය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-03-18

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ගාල්ල, බෙලිගහ නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වේ. එම ආයතනය වසර කිහිපයක සිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන් එම සංකීර්ණයේ විදුලි හා යාන්ත්‍රික පද්ධතිවල වැඩ කටයුතු තවදුරටත් නිම කිරීමට ඇත. අධිකරණ කොටස් වශයෙන් විතැන් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බැවින් අධිකරණ සංකීර්ණයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් තොරව නව අධිකරණ සංකීර්ණය වෙත අධිකරණ විතැන් කළ නොහැක. එබැවින් මේ දක්වා එහි නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

(ii) සියලු වැඩ 2026 වසරේ ජුනි මස මුල් සතිය පමණ වන විට අවසන් කර, නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට ගොඩනැඟිලි අධිකරණය වෙත භාර දීමට සැලසුම් කර ඇත.

(iii) මේ වන විට ගාල්ල කොටුවේ අධිකරණ ස්ථාපිත කර ඇති ගොඩනැඟිලි මෙම අමාත්‍යාංශය වෙත පවරා දීමක් සිදු කර නොමැති අතර එම ගොඩනැඟිලිවල අයිතිය මෙම අමාත්‍යාංශය සතු නොවේ. ගාල්ල නව අධිකරණ සංකීර්ණය වෙත ගාල්ල කොටුවේ පිහිටා ඇති අධිකරණ සියල්ල විතැන් කිරීමෙන් පසුව එම ගොඩනැඟිලි, නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දෙන මෙන් එම අධිකාරිය මෙම අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් කර ඇත. නමුත් ඉහත සඳහන් කළ පරිදි එම ගොඩනැඟිලිවල අයිතිය මෙම අමාත්‍යාංශය සතු නොවන බැවින් සුදුසු කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කිරීමට හැකියාවක් පවතින බවත්, එම දේපළ පවරා දීම සම්බන්ධව එකඟතාව අදාළ ඉඩම් සතු ආයතනවලින් ලබා ගැනීමට සිදු වන බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනටමත් මෙම අමාත්‍යාංශය මඟින් දැනුවත් කර ඇත.

එමෙන්ම, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ගාල්ල කොටුව තුළ ක්‍රියාත්මක අධිකරණ කටයුතු ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදි කර ඇති ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීම, ගාල්ල කොටුවේ පවතින පැරැණි උසාවි සංකීර්ණ ගොඩනැඟිලි (මහාධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිලි) නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සහ අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ සංචාරක භාවිතය සඳහා යොදා ගැනීම යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලද අංක අමප/26/0624/809/071 හා 2026.04.06 දිනැති තීරණය අනුව මහාධිකරණ ගොඩනැඟිල්ල සහ ‍මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිලි ඇතුළු ඉඩම්, රජයේ ඉඩම් ආඥා පනතේ 6වන වගන්තියේ (1) වන උප වගන්තියේ විධිවිධාන පරිදි නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

(iv) මෙම අධිකරණ සංකීර්ණයේ ඉඩ පහසුකම් සපයා ඇති අධිකරණ කිසිවක් කුලී ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු නොලබන බැවින්, මේ වනතෙක් අධිකරණ සංකීර්ණය භාවිතයට නොගැනීම හේතුවෙන් රජයට අලාභයක් සිදුව නොමැත. ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ සමහර කොටස්වල ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදු වන බැවින්, එම ගොඩනැඟිලි අධිකරණ අමාත්‍යාංශය වෙත භාරගෙන නොමැත. එබැවින්, එම ගොඩනැඟිලි හා භූමිය නඩත්තු කර පවත්වා ගෙන යෑමට අමාත්‍යාංශය මඟින් වියදම් දරනු නොලැබේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks