01

E   |     |  

 දිනය: 2025-10-23   පිළිතුර ලබා දී ඇත 

1427/2025: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ: රක්ෂණ ආවරණය

1427/2025

ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගී ප්‍රවාහන බස්රථ සඳහා ලබා ගන්නා රක්ෂණ ආවරණය කවරේද;

              (ii)      මගී ප්‍රවාහන බස්රථ සඳහා තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණය ප්‍රමාණවත් වන්නේද;

   (iii)  ඉදිරියේදී එම රක්ෂණ ආවරණය වෙනුවට වෙනත් රක්ෂණ ආවරණයක් ලබා ගන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල මේ වනවිට සේවය කරනු ලබන කාර්මික නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද;

  (ii)  එම ඩිපෝවල කාර්මික අංශ සඳහා පුහුණුවලත් කාර්මිකයන් සිටින්නේද;

  (iii)  නිසි පුහුණුවකින් පසු එම ඩිපෝ සඳහා කාර්මිකයින් බඳවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

  (iv)  කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන මඟින් ප්‍රායෝගික පුහුණුව සඳහා      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වෙත යොමු කරනු ලබන අභ්‍යාසලාභීන්, පුහුණු කාලයෙන් පසු ස්ථිර පදනම මත බඳවා ගැනීමට වැඩපිළිවෙළක් තිබේද;

  යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-23

අසන ලද්දේ

ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෑත කාලයේ මිලදී ගත් ආසන 32 බස් රථ හා අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝප‍භෝගී බස් රථ සඳහා පූර්ණ රක්ෂණාවරණය ලබා දී ඇති අතර, අනෙකුත් බස් රථ සඳහා තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණ ලබා දී ඇත.

              (ii)        තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණ යටතේ බස් රථ සේවක කණ්ඩායම් වෙත කම්කරු වන්දි රක්ෂණ ආවරණය ලැබෙන අතර, මගීන් සඳහා සීමා රහිත රක්ෂණාවරණයක් ලැබේ. මේ යටතේ තෙවන පාර්ශ්වය සඳහා රුපියල් මිලියන දෙකක ආවරණයක් ලබා දෙනු ඇත. එබැවින් තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණය ප්‍රමාණවත් වේ.

(iii) වෙනත් රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට අවශ්‍ය නොවේ.

(ආ) (i) ප්‍රමාණවත් නැත.

(ii) ඩිපෝවල සේවයේ නියුතු කාර්මික සේවක මහතුන් අතර, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ - Ceylon German Technical Training Instituteහි - හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ - NAITA, National Apprentice and Industrial Training Authorityහි - පූර්ණ කාලීන පාඨමාලා හදාරා සුදුසුකම් ලත් කාර්මික සේවක මහතුන් ද වේ.

(iii) බඳවා ගැනීමේ පටිපාටියට අනුව ජාතික වෘත්තීය කුසලතා NVQ - 04  මට්ටම ‍මත බඳවා ගැනීම් සිදු කෙරේ.

(iv) එවැනි වැඩ පිළිවෙළක් නොමැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks