පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1360/2025
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මුල්ලිකුලම් ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් 2007 වර්ෂයේ සිට යුද හමුදාව යටතේ පවතින බැවින්, එම ප්‍රදේශයෙන් අවතැන්වූ ජනතාවට මේ වන තෙක් තමන්ගේ ගම්මානවලට ආපසු යෑමට නොහැකිවී ඇති බව දන්නේද;
(ii) එම ජනතාවට තමන්ගේ වාසස්ථානවල නැවත පදිංචි වීමට නොහැකි වීමට හේතු කවරේද;
(iii) මෙම ප්‍රදේශයේ අවතැන්වූ පවුල් 300කට අධික සංඛ්‍යාවකට නිසි නිවාස පහසුකම්, ජීවනෝපාය අවස්ථා සහ මූලික පහසුකම් නොමැති අතර, එම ජනතාව වෙනුවෙන් රජය විසින් මෙතෙක් ලබාදී ඇති සහන කවරේද;
(iv) මුල්ලිකුලම් ජනතාව සතු පාරම්පරික ඉඩම්, නිවාස, පාසල් සහ ආගමික ස්ථාන වර්තමානයේ නාවික හමුදාව යටතේ පවතින්නේද;
(v) එසේ නම්, ඒවා නිදහස් කොට ජනතාවට නැවත භාරදීමට ගනු ලබන පියවර කවරේද;
(vi) එම අවතැන්වූ ජනතාව ඔවුන්ගේ ස්ථිර වාසස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා තිරසර සැලැස්මක් හෝ නිශ්චිත කාලරාමුවක් තිබේද;
(vii) එසේ නම්, එම ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන කාල වකවානුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුල්ලිකුලම් ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් යුද්ධ හමුදාවේ පරිහරණයට ගෙන නොමැත.
තවද, 2007 වර්ෂයේ සිට අවතැන් වූ ජනතාවට මේ වනතෙක් තම ගම්මානවලට ආපසු යෑමට නොහැකි වීම පිළිබඳ තොරතුරු අප අමාත්‍යාංශය සතුව නොමැත.
කෙසේ වුවද, මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරිච්චිකඩ්ඩි ග්‍රාම නිලධාරි වසමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් - ඒ රජයේ ඉඩම් - හෙක්ටෙයාර 245.9ක භූමි ප්‍රමාණයක් නාවික හමුදා කඳවුරක් සඳහා 2009 වර්ෂයේ සිට පරිහරණය කරන අතර අවස්ථා කිහිපයකදී ඉඩම් කොටස් නාවික හමුදාව විසින් නිදහස් කරන ලද අතර, ආසන්නම අවස්ථාව ලෙස 2017 වර්ෂයේදී ආසන්න වශයෙන් අක්කර 77ක ප්‍රමාණයක් සිවිල් පරිහරණය සඳහා නිදහස් කර ඇත. එලෙස නාවික හමුදාව පරිහරණය කරන ඉඩම තුළ පිහිටි සිවිල් නිවාස 27ක් වෙනුවෙන් 2012 වර්ෂයේදී මනල්කාඩු ග්‍රාමයේ නිවාස 27ක් සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ඉදි කර ලබා දී ඇත. ගරු මන්ත්‍රීතුමනි, මනල්කාඩු ප්‍රදේශයේ හදලා තිබෙන ගෙවල් 27 පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුවක් තිබෙනවා. එම ලැයිස්තුව ඇමුණුම වශයෙන් පහත දක්වා ඇත.
තවද, නාවික හමුදාව විසින් පානීය ජලය, ප්‍රවාහන පහසුකම් වැනි යටිතල පහසුකම් ද මේ වන විට ප්‍රදේශයේ ජනතාව වෙත ලබා දීලා තිබෙනවා. ඒ අර කියපු අක්කර ප්‍රමාණයේ ඉන්න කොටසේ විතරයි. ඒක රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති එකක්.
(ii) ශ්‍රී ලංකා නාවික හමුදාව පරිහරණය කරන භූමියට අයත්ව තිබූ සිවිල් නිවාස 27ක් වෙනුවට මනල්කාඩු ප්‍රදේශයේ 2012 වර්ෂයේදී නිවාස 27ක් නාවික හමුදාව විසින් ඉදි කර දී ඇති අතර එම නිවාසවල සිවිල් වැසියන් දැනට පදිංචි වෙලා සිටිනවා.
(iii) මේ සම්බන්ධ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය සතුව නැහැ. අවතැන් වූ සිවිල් පුද්ගලයන් නැවත පදිංචි කිරීම සම්බන්ධව විස්තර අනෙක් අමාත්‍යාංශයේ තිබෙන්නේ. ඒ අමාත්‍යාංශයට යොමු කරලා ඒ විස්තර ඉදිරිපත් කරන්නම්.
(iv) ඉහත ප්‍රශ්න අංක (ii) සඳහා ලබා දී ඇති පිළිතුර ප්‍රකාරව නාවික හමුදාව විසින් පරිහරණය කරන ඉඩම් ප්‍රදේශය තුළ පිහිටි නිවාස 27ක් නාවික හමුදාව විසින් රාජකාරි සඳහා භාවිත කරනු ලබන අතර ඒ වෙනුවෙන් විකල්ප නිවාස 27ක් සිවිල් වැසියන් සඳහා මනල්කාඩු ප්‍රදේශයේ ඉදි කර දී ඇත. ඇමුණුමෙහි විස්තර සඳහන් වේ.
තවද, නාවික හමුදා කඳවුර පිහිටා ඇති පරිශ්‍රය තුළ රෝමානු කතෝලික දේවස්ථානයක් සහ රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසල පිහිටා ඇති අතර එම ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර 77ක භූමි ප්‍රමාණයක් නාවික හමුදාව විසින් නිදහස් කොට ඇති අතර එම ස්ථානයන්ට පිවිසීම සඳහා පිවිසුම් මාර්ගය ද නාවික හමුදාව විසින් නිදහස් කරන ලද අතර කතෝලික දේවස්ථානය සහ රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙහි කටයුතු පහසු කිරීම උදෙසා පහත සඳහන් සේවාවන් නාවික හමුදාව විසින් තවදුරටත් සපයා ඇත.
• කතෝලික දේවස්ථානය හා රෝමානු කතෝලික දමිළ මිශ්‍ර විදුහලට පැමිණෙන බැතිමතුන්ට හා පාසල් සිසුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව මඟින් නොමිලේ ලබා දීම සිදු කරනු ලබයි.
• සිංහල හා දමිළ දරුවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පෙර පාසලක් පවත්වා ගෙන යනු ලබන අතර ඒ සඳහා විශේෂ ක්‍රමය යටතේ ගුරුවරුන් දෙදෙනෙකු බඳවාගෙන ඇත. ඔවුන් නාවික හමුදාව මඟින් වැටුප් ලබා දෙමින් සේවයට අනුයුක්ත කර ඇත.
මෙම ප්‍රදේශයේ සිවිල් ජනතාව කිසිදු ආකාරයකින් නෙරපීමක් හෝ අවතැන්වීමට ඉඩ සැලසීමක් නාවික හමුදාව විසින් සිදු කොට නොමැත.
(v) නාවික හමුදාව විසින් පරිහරණය කරන ලද ඉඩම් ප්‍රමාණයන් 2012 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා අක්කර 752ක් සහ 2017 වර්ෂයේදී අක්කර 77ක් වශයෙන් මුළු ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 829ක් සිවිල් ජනතාව වෙත මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇත. දැනට නාවික හමුදාව විසින් භාවිත කරන හෙක්ටෙයාර 245.9ක ප්‍රමාණය නිවැරැදි තක්සේරු කිරීමකින් අනතුරුව ජාතික ආරක්ෂාව සඳහා උපායමාර්ගිකව වැදගත් වන සහ නාවික කඳවුරක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන ඉඩම් කොටස් තබා ගනිමින් ඉතිරි ඉඩම් කොටස් ඉඩම්වල අයිතිය හිමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලීමට නියමිතව ඇත.
(vi) නාවික හමුදා පරිහරණයට ගන්නා ලද නිවාස 27 වෙනුවට ඉහත (ii)හි පරිදි නිවාස ඉදි කර ජනතාව වෙත ලබා දී ඇත.
(vii) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks