01

E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

1353/2025: දුර ගමන් බස් රථවල ගමන් කරන්නන් සඳහා පහසුකම් සපයන අවන්හල්/හෝටල්: ලියාපදිංචිය

1353/2025

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ දුර ගමන් සේවා බස්රථවල මගීන්ට ආහාරපාන හා සනීපාරක්ෂක පහසුකම් සපයන ආපන ශාලා/හෝටල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ආපන ශාලා/හෝටල් සඳහා ලියාපදිංචියක් හෝ අවසරයක් තිබිය යුතුද;

(iii) එසේ නම්, ලියාපදිංචිය/අවසරය සහිත ආපන ශාලා/හෝටල් සංඛ්‍යාව කොපමණද;

(iv) ලියාපදිංචි කළ ආපන ශාලා/හෝටල් විසින් පිළිපැදිය යුතු නීති රීති පද්ධතියක් හෝ කොන්දේසි මාලාවක් තිබේද;

(v) එසේ නම්, ඒවා කවරේද;

(vi) එම ආපන ශාලා/හෝටල් ලියාපදිංචි කිරීමේදී ගාස්තුවක්/බද්දක් අය කරන්නේද;

(vii) එසේ නම්, එම ගාස්තුව/බද්ද කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?  

 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)        ශ්‍රී ලංගම දුර ගමන් සේවා : ආපණ ශාලා 73යි.

                        පෞද්ගලික අංශයේ දුර ගමන් සේවා : පුත්තලම් කොරිඩෝව (කොළඹ - යාපනය) 14යි.

         හයිලෙවල් ලෝලෙවල් කොරිඩෝව (කොළඹ-බදුල්ල, පැල්මඩුල්ල-අම්පාර, අවිස්සාවේල්ල-හැටන්) 19යි. අනෙකුත් මාර්ගවල (කොරි‍ඩෝවල) ආපණ ශාලා හඳුනා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

(ii) අංක 1742/26 - 2012 ජනවාරි 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ ආපණ ශාලා පවත්වා ගත යුතුය.

මේ වන විට ආපණ ශාලා ලියාපදිංචිය සඳහා වන කොන්දේසි මාලාවක් ශ්‍රී ලංගම විසින්ද සකස් කර ඇති අතර දැනට ආපණ ශාලා පවත්වා ගෙන යෑම සඳහා ආපණ ශාලා හිමියන්ගේ ඉල්ලීම පරිදි ලිඛිත අවසරයක් ලබා දී ඇත.

තවද, ආපණ ශාලා අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි විය යුතුය.

(iii) ශ්‍රී ලංගම දුර ගමන් සේවා සඳහා සේවා සපයන ආපණ ශාලා 73ක් ශ්‍රී ලංගම යටතේ දැනට ලියාපදිංචි වී නොමැත.

පෞද්ගලික අංශයේ දුර ගමන් සේවා සඳහා අදාළ ආපණ ශාලා සම්බන්ධ තොරතුරු ඉදිරියේදී ජාතික ගමනාගමන කොමිසම හරහා එක්රැස් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

(iv) ඔව්.

(v) සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති අංක 1742/26-2012 ජනවාරි 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය (1980 අංක 26 දරන ආහාර පනත) ඇමුණුම 01හි දක්වා ඇත.

දුර ගමන් සේවා බස් රථ නතර කරන ආපණ ශාලා ශ්‍රී ලංගම තුළ ලියාපදිංචිය සඳහා වන කොන්දේසි ඇමුණුම 02හි දක්වා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති "ආහාර පරිහරණ ආයතන ශ්‍රේණිගත කිරීම - H 800 (සංශෝධිත) 2011" ආකෘතිය ඇමුණුම 03හි දක්වා ඇත.

H 800 ආකෘතිය මඟින් ආවරණය නොවන, එහෙත් මගීන්ට බස් රථ කාර්ය මණ්ඩලවලට හා බස් රථවලට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති පිරිවිතර මාලාව ඇමුණුම 04හි දක්වා ඇත.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

(vi) මෙතෙක් ගාස්තු අය කර නොමැත. නමුත්, ආපණ ශාලාව අයත් ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය සඳහා ගාස්තුවක් අය කෙරේ.

(vii) ශ්‍රී ලංගම විසින් සකස් කර ඇති ආපණ ශාලා ලියාපදිංචිය සඳහා වන කොන්දේසි යටතේ ලියාපදිංචි ගාස්තුව ලෙස නැවත නොගෙවන රුපියල් 25,000ක තැන්පතු මුදලක්ද, මාසික ගාස්තුව ලෙස රුපියල් 3,000ක මුදලක් ද දක්වා ඇත.

ප්‍රාදේශීය සභාවෙන් වෙළඳ බලපත්‍රය සඳහා අය කරන ගාස්තුව රුපියල් 1,100යි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks