E   |     |  

 දිනය: 2026-03-04   පිළිතුර ලබා දී ඇත 

1335/2026: වී අලෙවි මණ්ඩලය: වී මිලදී ගැනීම සහ ගබඩා පහසුකම්

.

අසන ලද දිනය

2026-03-04

අසන ලද්දේ

ගරු සුරංග රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      අපේ රටේ ඇති වී ගබඩා කලාප මට්ටමින් නම් කර තිබෙනවා.

                          වයඹ කලාපයේ තිබෙන මුළු වී ගබඩා ප්‍රමාණය 31යි. වයඹ කලාපයට කුරුණෑගල, පුත්තලම, මාතලේ සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක අයත් වනවා. ඒ අනුව එම ගබඩාවලට වී මෙට්‍රික් ටොන් 40,950ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඊළඟට, අම්පාර කලාපය. අම්පාර කලාපයේ සමස්ත වී ගබඩා 56ක් තිබෙනවා. ඒ කලාපයට අම්පාර, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් ඇතුළත් වනවා. ඒ ගබඩා 56 තුළ වී මෙට්‍රික් ටොන් 65,315ක් ගබඩා කරන්න පුළුවන්.

ඊළඟට, නැ‍‍ඟෙනහිර කලාපය. නැ‍ඟෙනහිර කලාපයේ වී ගබඩා 34ක් තිබෙනවා. ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක එම කලාපයට අයත් වනවා. එම ගබඩා තුළ වී මෙට්‍රික් ටොන් 23,650ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා.

ඊළඟට, දකුණු කලාපය. දකුණු කලාපයේ වී ගබඩා 32ක් තිබෙනවා. මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල සහ රත්නපුරය කියන දිස්ත්‍රික්ක එම කලාපයට අයත් වනවා. එම ගබඩාවල වී මෙට්‍රික් ටොන් 66,800ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා.

අනුරාධපුර කලාපයේ වී ගබඩා 59ක් තිබෙනවා. එම ගබඩාවල වී මෙට්‍රික් ටොන් 47,730ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා.

ඊළඟට, උතුර කලාපයට කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම ආදී දිස්ත්‍රික්ක අයත් වනවා. උතුරු කලාපයේ වී ගබඩා 29ක් තිබෙනවා. එහි වී මෙට්‍රික් ටොන් 25,900ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා.

ඊළඟට, පොළොන්නරුව කලාපය. එම කලාපයට පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක අයත් වනවා. එහි වී ගබඩා 41ක් තිබෙනවා. ඒ තුළ වී මෙට්‍රික් ටොන් 47,440ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා. ඒ අනුව අපේ රට තුළ සමස්ත වී ගබඩා 282ක් තිබෙනවා. මේවායේ වී මෙට්‍රික් ටොන් 317,785ක් ගබඩා කිරීමේ පහසුකම තිබෙනවා.

(iii) ගිය යල කන්නයේ අස්වැන්න ගැන ඔබතුමා අහන්නේ. ඒ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.27යි.

(iv) මෙට්‍රික් ටොන් 48,000ක් ගන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ.

(v) ඒක මුළු නිෂ්පාදනයෙන් සියයට 2.11යි.

(vi) 1. දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ නව්‍යතාවෙන් යුතුව ශක්තිමත්ව ඉදිරියට සිදු කරගෙන යනවා.

  • දැනට හඳුන්වා දී ඇති ඉහළ අස්වනු දෙන වී ප්‍රභේද ප්‍රචලිත කිරීමට අමතරව විශේෂ වෙළෙඳ පොළ සඳහා ආනයනය කරනු ලබන සහල් සඳහා ආදේශක ලෙස සුදුසු ඉහළ ධාන්‍ය ගුණාත්මයෙන් යුතු -බාස්මතී ආකාර හා කීරි සම්බා ආකාරයේ- නව වී ප්‍රභේද නිපදවීම සඳහා පර්යේෂණ කටයුතු සිදු කිරීමත්, ඒ සඳහා අවශ්‍ය වන නව තාක්ෂණ‍යන් ජනනය කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව සිදු කරගෙන යනු ලබන අතර,
    • අභිජනන බීජ වී සම්පූර්ණ අවශ්‍යතාව සැපයීම තුළින් බීජ ගුණන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම හා බීජ ගුණාත්මය තහවුරු කිරීම.
    • පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රම හඳුන්වා දීම.
    • නව පරම්පරාවේ පොහොර භාවිතය ප්‍රචලිත කිරීම හා පස පරීක්ෂා කර පොහොර යෙදීම මඟින් තවදුරටත් අස්වැන්න ඉහළ නැංවීම.
    • කම්කරු ශ්‍රමය හිඟවීම නිසා සීමා වී ඇති නිෂ්පාදිත භූමි යාන්ත්‍රීකරණය මඟින් කාර්යක්ෂමව භාවිත කිරීමට හැකි ක්‍රමවේද හඳුන්වා දීම.
    • ඩ්‍රෝන තාක්ෂණය ඇතුළුව නව තාක්ෂණයන් හඳුන්වා දීම හා භාවිතය ප්‍රචලිත කිරීම ඔස්සේ ගොවි ජනතාවගේ ආකර්ෂණයක් ඇති කර ගැනීමට අදාළ වැඩසටහන් මේ වනකොට දියත් කරන්නට පටන් ගෙන තිබෙනවා.
    • යෙදවුම් පිරිවැය අඩු කිරීම සඳහා රෝග හා පළිබෝධ පාලන ක්‍රමවේද, ජල කළමනාකරණය කාර්යක්ෂම කර ගැනීමේ ක්‍රමවේද, වල් වී පාලනය හා වල් පැළ පාලනය සඳහා කාර්යක්ෂම ක්‍රමවේද හඳුනා ගැනීම වැනි දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

2. දේශීය වී නිෂ්පාදනය වැඩි කරගැනීමට අදාළව විශේෂයෙන්ම "පුනරුදයට අරුණළු" ජාතික කෘෂිකර්ම වැඩසටහනට සමගාමීව යාය වැඩසටහනක් මේ වනකොට අපි හඳුන්වා දීලා තිබෙනවා. අපි පළමු වටයේදී යාය 500ක් තෝර‍ා ගත්තා. එහි යම් සාර්ථකභාවයකුත් තිබෙනවා, අසාර්ථකභාවයකුත් තිබෙනවා. ඒ අත්දැකීම් පාවිච්චි කරලා මේක තවත් විධිමත්ව ඉස්සරහට අරගෙන යන්න අපි සැලසුම් කරලා තිබෙනවා. 2028 වසර වනකොට යාය 5,000ක් සැලසුම් කරලා ඉස්සරහට කටයුතු කරගෙන යන එක තමයි අපේ සැලසුම. පස පරීක්ෂා කරලා, ඒ නිර්දේශවලට අනුව පොහොර සහ යෙදවුම් පාවිච්චි කිරීමත්, විද්‍යාත්මකව බිම සකස් කිරීමත් ඇතුළු කාරණා මත එම යායවල් තුළින් අස්වැන්න වැඩි කරලා පෙන්වීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව 2028 වසර අවසන් වනකොට අපි අද ගන්න වී නිෂ්පාදනයට වඩා වැඩි මට්ටමකට අපේ වී නිෂ්පාදනය ඔසවා තැබීම සඳහා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය විධියට අපි මේ ක්‍රියාවලිය මේ වනකොට දියත් කරලා තිබෙන්නේ.

ඒකට අදාළ තව ගොඩක් විස්තර මේ වාර්තාවේ තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks