E   |     |  

 දිනය: 2026-03-03   පිළිතුර ලබා දී ඇත 

1328/2026: හෙද සේවය: විස්තර

1328/2025

ගරු සුජීව දිසානායක මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)      ශ්‍රී ලංකාවේ හෙද සේවය ආරම්භ කරන ලද වර්ෂය කවරේද;

           (ii)      මේ වනවිට සේවය කරනු ලබන හෙද නිලධාරිනියන් සහ හෙද නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) හෙද සේවයේ මූලික කාර්යයන් කවරේද;

(iv) හෙද සේවයට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් කවරේද;

(v) හෙද/හෙදියන්ට තම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම සඳහා පහසුකම් සලසාදී තිබේද;

 (vi) හෙද/හෙදියන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-03

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ හෙද සේවය ආරම්භ කළේ 1939දී. එම වර්ෂයේදී සැලසුම් සහගත හෙද අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් කොළඹ හෙද විදුහලේ සිසු හෙද පුහුණුව ආරම්භ කර ඇති අතර, එය විධිමත් පරිදි ශ්‍රී ලංකාවේ හෙද සේවයේ ආරම්භ‍ය ලෙස සලකනවා.    

              (ii)      2025.09.30 දිනට,

                          මධ්‍යම රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව - 29,749

පළාත් රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව - 13,804

ඒ අනුව, 2025.09.30 වනවිට හෙද නිලධාරින් සහ නිලධාරිනියන් 43,553ක් සේවය කරනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත බඳවා ගැනීමේදී බඳවා ගන්නා සංඛ්‍යාවෙන් සියයට 5ක් පිරිමි අයදුම්කරුවන්ගෙන් ද, සියයට 95ක් ගැහැනු අයදුම්කරුවන්ගෙන්ද සමන්විත වන ලෙස දිස්ත්‍රික්කයේ ඉහළම Z අගය සහිත අයදුම්කරුවන් අතරින් පුහුණුවට බඳවා ගත යුතු සංඛ්‍යාව තෝරා ගනු ලබනවා.

(iii) රෝග නිවාරණය, සෞඛ්‍ය අභිවර්ධනය, වේදනාවන්ගෙන් මුදා ගැනීම හා පුනරුත්ථාපනය සඳහා වූ කාර්යය කිරීම පිණිස මූලික මිනිස් අවශ්‍යතා හඳුනා ගනිමින්, විද්‍යාත්මක මූලධර්ම මත පදනම්ව, රෝගී සත්කාර (රෝහල් හා සායන) සේවා, ප්‍රජා/මානසික හෙද සේවා, හෙද අධ්‍යාපන සේවා හා විශේෂිත/පර්යේෂණ හෙද සේවා යන ක්ෂේත්‍රයන්හි මනා ක්‍රියාකාරිත්වය සඳහා ඉවහල් වන්නා වූ සුවිශේෂිතව පවරා දෙනු ලබන කාර්යයන් ද උපකාරක හෝ පහසුකාරක කාර්යයන්ගෙන් ද සමන්විත වන්නා වූ කාර්යයන් හෙද සේවය විසින් ඉටු කරනු ලබනවා.

(iv)  01. අපොස (උසස් පෙළ) ප්‍රතිඵල මත වසර 3ක සිසු හෙද පුහුණුවට බඳවා ගෙන, සාර්ථකව එම පුහුණුව නිම කරන සිසුන් සඳහා ශ්‍රී ලංකා හෙද සේවයේ III ශ්‍රේණියේ පත්වීම් ලබා දීම

1.  හෙද විදුහල් සඳහා බඳව‍ා ගැනීමට අදාළ සුදුසුකම් (වාර්ෂිකව පුහුණු කිරීමට අවශ්‍ය සංඛ්‍යාවෙන් සියයට 75ක සංඛ්‍යාවක්)

(අ.) අධ්‍යාපන සුදුසුකම්

• අපොස (උසස් පෙළ) විභාගයේදී ජෛව විද්‍යා විෂය ධාරාවට අයත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව, භෞතික විද්‍යාව හා ගණිතය යන විෂයයන් අතුරින් විෂයන් 03ක් හදාරා සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම. (සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර)

හෝ

• අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේදී භෞතීය විද්‍යා විෂය ධාරාවට අයත් සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා උසස් ගණිතය යන විෂයයන් අතුරින් විෂයයන් 3ක් හදාරා, සියලුම විෂයයන්ගෙන් එකවර සමත් වීම (සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි හැර)

සහ

• සිංහල/දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන විෂයයන් 4ට සම්මාන සාමර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීම.

ගරු කථානායකතුමනි, (iv)වැනි ප්‍රශ්නයට අදාළ පිළිතුරෙහි ඉතිරි කොටස මම සභාගත* කරනවා.

(v) ඔව්.

මේ සඳහා පිහිටුවා ඇති ආයතනය පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල වන අතර, එම ආයතනය මඟින් පහත සඳහන් ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා පැවැත්වේ.

• ඉගැන්වීම හා අධීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව

• සෞඛ්‍ය අධීක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව

• ශල්‍යාගාර පුහුණුව

• දැඩි සත්කාර පුහුණුව

• ප්‍රජා සෞඛ්‍ය හෙද පුහුණුව

• ප්‍රජා සෞඛ්‍ය මානසික හෙද පුහුණුව

• මානසික සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව

• හදිසි ප්‍රතිකාර පුහුණුව

• Palliative care

(vi)  ඔව්. පහත සඳහන් පරිදි පහසුකම් සලසා දී ඇත.

• විවෘත විශ්වවිද්‍යාලයේ හෙදකම පිළිබඳ විද්‍යාවේදී උපාධිය හා විද්‍යාපති උපාධිය

• පෞද්ගලික විශ්වවිද්‍යාලවල හෙදකම පිළිබඳ විද්‍යාවේදී උපාධිය හා විද්‍යාපති උපාධිය

• අධ්‍යයන කටයුතු සඳහා වසරකට දින 20ක අධ්‍යයන නිවාඩු ලබා දීම.

• ජාතික විශ්වවිද්‍යාලවලින් පාර්ශ්වීය ඇතුළත් කර ගැනීම් (Lateral entries) සඳහා අවස්ථාව සලසා දීම.

(ආ)  පැන නොනඟී.

 

* සභාමේසය මත තබන ලද (අ) (iv) පිළිතුරේ ඉතිරි කොටස:

* சபாபீடத்தில் வைக்கப்பட்ட  (அ) (iv)க்கான விடையின் எஞ்சிய பகுதி:

* Rest of the Answer to Question (a)(iv) tabled:

 

(ආ.) වෙනත් සුදුසුකම්

• ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.

• අයදුම් පත් භාර ගන්නා අවසන් දිනය වනවිට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 28ට නොවැඩි විය යුතුය.

• උස සෙන්ටිමීටර් 147.3ට නොඅඩු විය යුතුය.

• අවිවාහක විය යුතුය.

(ඇ.)  ඉහත සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් අතරින් පහත සඳහන් ක්‍රමවේදය අනුව හෙද පුහුණුවට බඳවා ගනු ලැබේ.

* එක් වර්ෂයක අපොස (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගැනීම

• දිවයිනෙන් බඳවා ගැනීමට නියමිත මුළු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයේ ජනගහනය පදනම් කරගෙන ජන සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

• ඉන්පසු එම එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව එම දිස්ත්‍රික්කයේ ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් හා භෞතීය විද්‍යා විෂය ධාරාව යටතේ අයදුම් කර සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් පසු සුදුසු වූ අයදුම්කරුවන් සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා අදාළ දිස්ත්‍රික්කයෙන් එක් එක් විෂය ධාරාව යටතේ බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

• එලෙස එක් එක් විෂය ධාරාව යටතේ බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කර එම සංඛ්‍යාවෙන් සියයට 5ක් පිරිමි අයදුම්කරුවන්ගෙන්ද, සියයට 95ක් ගැහැනු අයදුම්කරුවන්ගෙන්ද සමන්විත වන ලෙස දිස්ත්‍රික්කයේ ඉහළම Z අගය සහිත අයදුම්කරුවන් අතරින් පුහුණුවට බඳවා ගත යුතු සංඛ්‍යාව තෝරා ගනු ලැබේ.

* වර්ෂ දෙකක් හෝ ඊට වැඩි වර්ෂ ගණනක අපොස (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගැනීම

• මෙහිදී දිවයිනෙන් බඳවා ගැනීමට නියමිත මුළු සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයේ ජනගහනය පදනම් කරගෙන ජන සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

• ඉන්පසු එම එක් එක් දිස්ත්‍රික්කයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව අදාළ දිස්ත්‍රික්කයෙන් එක් එක් වර්ෂයෙන් අයදුම් කර සම්මුඛ පරීක්ෂණයෙන් පසු සුදුසු වූ අයදුම්කරුවන් සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා අදාළ දිස්ත්‍රික්කයෙන් එක් එක් වර්ෂයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

• ඉන්පසු එම එක් එක් වර්ෂයෙන් බඳවා ගත යුතු සංඛ්‍යාව එම වර්ෂයේ ජෛවීය විද්‍යාව විෂය ධාරාව හා භෞතීය විද්‍යා විෂය ධාරාව යටතේ අයදුම් කර සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයෙන් පසු සුදුසු වූ අයදුම්කරුවන් සංඛ්‍යාවට සමානුපාතිකව බෙදා අදාළ දිස්ත්‍රික්කයෙන් එක් එක් වර්ෂවලට අදාළව එක් එක් විෂය ධාරා යටතේ බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

• එලෙස එක් එක් වර්ෂයෙන් එක් එක් විෂය ධාරාව යටතේ බඳවා ගත යුතු සංඛ්‍යාව තීරණය කර එම සංඛ්‍යාවෙන් සියයට 5ක් පිරිමි අයදුම්කරුවන්ගෙන්ද, සියයට 95ක් ගැහැනු අයදුම්කරුවන්ගෙන්ද සමන්විත වන ලෙස එක් එක් වර්ෂයන්හි එක් එක් විෂය ධාරා යටතේ දිස්ත්‍රික්කයේ ඉහළම  Z අගය ලබා ඇති අයදුම්කරුවන් අතුරින් පුහුණුවට බඳවා ගනු ලැබේ.

02. විද්‍යාවේදී (හෙද) උපාධිය මත මාස 6ක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බඳවා ගෙන සාර්ථකව එම පුහුණුව නිම කරන සිසුන් සඳහා ශ්‍රී  ලංකා හෙද සේවයේ III ශ්‍රේණියේ පත්වීම් ලබා දීම

(1) මාස 6ක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බඳවා ගැනීමට අදාළ අධ්‍යාපන සුදුසුකම් (වාර්ෂිකව පුහුණු කිරීමට අවශ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25ක සංඛ්‍යාවක්)

(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ආයතනයකින් විද්‍යාවේදී (හෙද) උපාධිය සම්පූර්ණ කර තිබිය යුතුය.

(ආ) වෙනත් සුදුසුකම්

• ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.

• අයදුම් පත් භාර ගන්නා අවසන් දිනය වනවිට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

• අදාළ උපාධිය බලපැවැත්වෙන දිනය අයදුම් පත් කැඳවන දිනයට පෙර දිනයක් විය යුතුය.

• සම්මුඛ පරීක්ෂණය පවත්වන දිනය වනවිට හෙද සභාවේ ලියාපදිංචිය ලබා තිබිය යුතුය.

(ඇ) සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්/අයදුම්කාරියන් අතුරින් ඔවුන්ගේ උපාධිය බලපැවැත්වෙන දිනය හා GPA අගය අනුව සකස් කර ගත් ප්‍රමුඛතා ලේඛනයක් පදනම් කරගෙන තෝරා ගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට කැඳවා සුදුසු වූ, නුසුදුසු වූ හා තෝරා නොගන්නා අයදුම්කරුවන්ගේ නාම ලේඛනය පළ කර සුදුසුකම් ලත් අයදුම්කරුවන් මාස 6ක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුවට බඳවා ගනු ලැබේ.

03.  ඉහත 01 හා 02 පරිදි සාර්ථකව පුහුණුව අවසන් කරන අයදුම්කරුවන් අතරින් පවතින පුරප්පාඩු අනුව ශ්‍රී ලංකා හෙද සේවයේ III ශ්‍රේණියට බඳවා ගනු ලැබේ.

 

පිළිතුරු දුන් දිනය

2026-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks