01

E   |     |  

 දිනය: 2025-10-24   පිළිතුර ලබා දී ඇත 

1322/2025: රජයේ විශ්වවිද්‍යාලවලට ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීම: ක්‍රමවේදය

1322/2025

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, — අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)       රජයේ විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් සංඛ්‍යාව එක් එක්  විශ්වවිද්‍යාලය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම සිසුන්ගේ ආබාධ වර්ග කවරේද;

(iii) එම එක් එක් ආබාධ වර්ගයට අදාළ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ආ) (i) රජයේ විශ්වවිද්‍යාලවලට ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය කවරේද;

(ii) එම ක්‍රමවේදය යාවත්කාලීන ‍සහ විධිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(iii) රජයේ විශ්වවිද්‍යාල සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගැනීමේදී කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේද;

(iv) ආබාධ සහිත සිසුන් සඳහා අන්තර්කරණීය අධ්‍යයන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේද;

(v) එසේ නම්,  එය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය කවරේද;

යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) අභිමත ඕනෑම විෂයධාරාවක් හැදෑරීමට විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන්ට අවකාශ තිබේද;

(ii) එම සිසුන් මේ වනවිට හදාරනු ලබන විෂයධාරාවන් කවරේද;

(iii) විවිධ විෂයධාරාවන් හැදෑරීමට ආබාධ සහිත සිසුන් යොමු නොවීමට ‍හේතු කවරේද;

යන්න තවදුරටත් එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-24

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     (i)     ·    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් පිළිබඳ විස්තර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

 

 

 

  • ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කායික ආබාධයක් ඇති එක් විදේශීය සිසුවෙකු ඉගෙනුම ලබයි.
  • · ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමයක් නොමැති අතර, ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගැනීමක් සිදු කර නැත.

(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් පහත පරිදි වේ.

  • · දෘෂ්‍යාබාධිත සිසුන්
  • · කායික අශක්නුතා සහිත සිසුන්

(iii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්

 

 

අධ්‍යයන වර්ෂය

දෘෂ්‍යාබාධිත සිසුන්

කායික අශක්නුතා සහිත සිසුන්

2023/ 2024

21

91

2022/ 2023

20

87

2021/ 2022

11

66

2020/ 2021

18

77

 

 (ආ) (i) ● විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බැලීමේ දී ඔවුන් වෙනුවෙන්ම විශේෂ ප්‍රවේශයක් "දෘෂ්‍යාබාධිත හා කායික අශක්නුතා  ඇති අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම" ලෙස භාවිත කරනු ලැබේ. එම විශේෂ ප්‍රවේශය යටතේ තෝරා ගනු ලබන සිසුන්ගෙන් කායික අශක්නුතා  ඇති අපේක්ෂකයන් ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ්‍යය හා කලා යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද දෘෂ්‍යාබාධිත අපේක්ෂකයන් කලා උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කරනු ලැබේ.
එහිදී කායික අශක්නුතා ඇති අපේක්ෂකයන්ගේ කායික අශක්නුතාවේ තීව්‍රතාව මත ශ්‍රේණිගත කර ලකුණු ලබා දී එම එක් එක් කාණ්ඩවල සිටින සිසුන්ගේ "Z" අගය සලකා බලා ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ්‍යය හා කලා යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල සඳහා අනුයුක්ත කරනු ලැබේ. අ.පො.ස. (උ.පෙළ) විභාගයට බ්‍රේල් ක්‍රමයෙන් පෙනී සිටි සිසුන් දෘෂ්‍යාබාධිත අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම යටතේ කලා උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කරනු ලැබේ.

  • ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අභ්‍යන්තර උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පමණක් ඇතුළත් කර ගනී.

 (ii) දැනට පවතින උපාධි පාඨමාලා 4ට අමතරව ඉදිරියේදී සියලු  උපාධි පාඨමාලා සඳහා ආබාධ සහිත සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කර ගැනීමට නව ප්‍රතිපත්තියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සම්මත කර ඇති අතර, එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

(iii) නැත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ්‍යය හා කලා යන උපාධි පාඨමාලා 4 සඳහා එක් එක් විශ්වවිද්‍යාලය විසින් අනුමත කරනු ලබන ස්ථාන සංඛ්‍යාවක් සඳහා සිසුන් අනුයුක්ත කරනු ලැබේ.

(iv), (v)   විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන් සඳහා අන්තර්කරණීය අධ්‍යයන ක්‍රම  එක් එක් විශ්වවිද්‍යාල මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය විසින් දෘශ්‍යාබාධිත සිසුන්හට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යෑම සඳහා දෘශ්‍යාබාධිත සිසුන් සඳහාම වූ පහසුකම් සහිත විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

(ඇ) (i), (ii)   විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවල "දෘශ්‍යාබාධිත හා කායික අශක්නුතා  ඇති අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම" යන විශේෂ ප්‍රවේශය යටතේ තෝරා ගනු ලබන සිසුන්ගෙන් කායික අශක්නුතා ඇති අපේක්ෂකයන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වාණිජ හා කලා යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ද, දෘශ්‍යාබාධිත අපේක්ෂකයන් කලා උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ද විශ්වවිද්‍යාලවලට අනුයුක්ත කරනු ලැබේ. කෙසේ නමුත්, අ.පො.ස (උසස් පෙළ) ප්‍රතිඵල මත පදනම්ව කිසිදු විශේෂකරණයකින් තොරව ආබාධ සහිත සිසුන්හට සාමාන්‍ය ප්‍රවේශය යටතේ ඔවුන්ගේ අභිමතය පරිදි ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ඉල්ලුම් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවකාශ සලසා දී තිබේ.

(iii) 2024 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම් කරගෙන දැනට මෙම සිසුන් ඇතුළත් කර ගන්නා ඉහත සඳහන් පාඨමාලා හතරට අමතරව තවත් පාඨමාලා සඳහා  ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලවලින් එකඟතාව ලබා ගනිමින් පවතී. ඒ අනුව 2024 අ.පො.ස (උසස් පෙළ) පදනම් කරගෙන තවත් ප්‍රථම උපාධි පාඨමාලා සඳහා මෙම ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

2025 අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම් කරගෙන සියලු ප්‍රථම උපාධි පාඨමාලාවලට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීමේ ප්‍රතිපත්තිමය තීරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට ලබාගෙන ඇත. ඒ සඳහා නව ප්‍රතිපත්තියක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත. ඒ අනුව ආබාධ සහිත සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් ඉදිරියේදී පුළුල් වනු ඇත.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks