01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

1279/2025: ගාල්ල දිස්ත්‍රික්කයේ තේ තවාන්: ලබා දුන් ආධාර

1279/2025

ගරු නිශාන්ත පෙරේරා මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2022 සහ 2023 වර්ෂවල ගාල්ල දිස්ත්‍රික්කය තුළ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් තේ තවාන් පවත්වාගෙන යාම සඳහා ආධාර ලබාදී තිබේද;

(ii) එසේ නම්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් ආධාර ලබා දුන් තේ තවාන් සංඛ්‍යාව, ‍ආධාරලාභියාගේ නම, ලබා දුන් ආධාර මුදල සහ තේ තවානේ ලියාපදිංචි අංකය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත ආධාරලාභීන් අතරින් මේ වනවිට තේ තවාන් පවත්වාගෙන යනු ලබන ආධාරලාභීන්ගේ සහ තේ තවාන් පවත්වාගෙන යනු නොලබන ආධාරලාභීන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ශ්‍රී ලංකා තේ මණ්ඩලය.

                        ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් ආධාර ලබා දුන් තවාන් සංඛ්‍යාව 30කි. 2020 වර්ෂයේදී තවාන්19ක් සඳහා ද, 2024 වර්ෂයේදී තවාන් 11ක් සඳහා ද ආධාර ලබාදී ඇත.

                        2020 හා 2024 වර්ෂවලට අදාළව තවාන් විස්තරය මෙසේයි.

                        ලියාපදිංචි අංක SLTB/TCD/DEV.NUR/2024/GI/02 බද්දේගම Galle Ray කියන tea factory එකට රුපියල් 250,000යි. SLTB/TCD/DEV.NUR/2024/GI/04 යක්කලමුල්ලේ නිල්මිණි කියන වත්තට ලක්ෂ 5යි. නාගොඩ, තලාව කියන වත්තට ලක්ෂ 5යි. ඉමදූව වලා‍ගොඩබැද්ද කියන වත්තට ආධාර දීලා නැහැ. ඉමදූව කොස්මුල්ල කන්ද කියන වත්තට රුපියල් 250,000යි. බද්දේගම ඉඳුරුව කන්ද වත්තට රුපියල් 250,000යි. බද්දේගම තිසර කියන වත්තට ලක්ෂ 5යි. නෙළුව, වීරවර්ධන මහත්මයාගේ Silver Valley කියන වත්තට ලක්ෂ 5යි. වැලිවිටිය, දිවිතුර, ගුණවර්ධන මහත්මයා‍ගේ වත්තට රුපියල් 250,000ක් දීලා තිබෙනවා.

ඊට අමතරව 2020දී තවත් වතු 19ක් සඳහා ආධාර ලබා දීලා තිබෙනවා.

යක්කලමුල්ල, ධර්මප්‍රිය කියන මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි. ඉමදූවේ, අමරසූරිය කියන මහත්මයාට ලක්ෂ 15යි. වැලිවිට, ද සිල්වා මහත්මයා‍ගේ රෙකඩහේන වත්තට ලක්ෂ 15යි. Baddegama South Tea Smallholders' සමුපකාර සමිතියක ගඟබොඩ වත්තට ලක්ෂ 15යි. බදේදේගම ටී.පී.ජී.ඒ.ඩී. ද සිල්වා මහත්මයාට ලක්ෂ 15යි. බද්දේගම ආර්.ජේ.ටී. අබේවර්ධන මහත්මයාට ලක්ෂ 15යි.   එතුමන්ලාගේ වතුවලට  මේ ආධාර දුන්නේ. වැලිවිටිය, පී.ජී.ඒ. ඉන්දිකාට ලක්ෂ 15යි. ගුණවර්ධන මහත්මයාගේ කිතුල්ගල හේන වත්තට ලක්ෂ 15යි. නෙළුව, ගුණරත්න මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි. තවලම, එච්.සී. ජයසිංහ මහත්මයාගේ වත්තට ලක්ෂ 15යි. වැලිවිටිය, දිවිතුර, බොරලුහේන වත්තට ලක්ෂ 15යි.

තවලම, එස්. අබේවික්‍රම මහත්මයාගේ වත්තට රුපියල් ලක්ෂ 15යි. වැලිවිටිය, දිවිතුර, එච්.එල්. සමන්ත මහත්මයාගේ වත්තට රුපියල් ලක්ෂ 15යි. නාගොඩ, Kudamanana (Pvt.) Limited එකට රුපියල් ලක්ෂ 7 ½යි. තවලම, Himara Tea Factory එකට රුපියල් ලක්ෂ 12 ½යි. යක්කලමුල්ල, කේ.එච්. අමරවික්‍රම මහත්මයාගේ වත්තට රුපියල් ලක්ෂ 15යි. අක්මීමන, වලහන්දූව වත්තට රුපියල් ලක්ෂ 7 ½යි. යක්කලමුල්ල,                සී. ජයසිංහආරච්චි මහත්මයාගේ වත්තට               රුපියල් ලක්ෂ 7 ½ක් වශයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් ආධාර ලබා දී  තිබෙනවා.

එම තවාන්වලට ලබා දුන් ආධාර සම්බන්ධයෙන් වැඩි විස්තර ඇතුළත් ලේඛන ඇමුණුම 01 වශයෙන් මම සභාගත* කරනවා.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් 2022 හා 2023 වර්ෂවල ආධාර ලබා දුන් අතර තවාන් සංඛ්‍යාව 17කි. ඊට අදාළව තවාන් පිළිබඳ විස්තර ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරමි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් ආධාර ලබා දුන් තවාන් 17න් මේ වන විට තවාන් 13ක් ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, එයින් 04ක් අක්‍රිය තත්ත්වයේ පවතී. අක්‍රිය තවාන්කරුවන්ගේ නම් පහත පරිදි වේ.

1) ජේ.කේ.ඒ. සුනීතා අමරසිරි මහත්මිය - ඕපාත කොට්ඨාසය

2) පී.අමරපාල මහතා - හල්විටිගල කොට්ඨාසය

3) ඩබ්ලිව්.ජී.එස්.ආර්. වික්‍රමසිංහ මහතා - හල්විටිගල කොට්ඨාසය

4) ඒ.ජී. කමල් කුමාර මහතා - බටපොල කොට්ඨාසය

 

ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් ආධාර ලබා දුන් තවාන් අතරින් තවාන් 02ක් අක්‍රිය මට්ටමේ පවතියි. එම අක්‍රිය තවාන්කරුවන්ගේ නම් පහත පරිදි වේ.

1) ඩී.එල්.ආර්. වසන්ත මහතා - යක්කලමුල්ල කොට්ඨාසය

2) වලහන්දූව ස්ටේට් ප්ලාන්ටේෂන් - අක්මීමන කොට්ඨාසය

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks