පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1265/2025
ගරු අශෝක ගුණසේන මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ජල යෝජනා ක්‍රමයෙන් පානීය ජලය ලබා දීමට නියමිත ප්‍රදේශ කවරේද;
(ii) එමඟින් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආවරණය නොවන ප්‍රදේශ කවරේද;
(iii) මේ වනවිට උග්‍ර පානීය ජල හිඟයකින් පීඩා විඳින පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ග්‍රාම නිලධාරි වසම් 13ක පවුල් 2500කට අධික සංඛ්‍යාවක් ඉහත යෝජනා ක්‍රමයෙන් ආවරණය නොවන බව දන්නේද;
(iv) ඊට හේතු කවරේද;
(v) ඉහත යෝජනා ක්‍රමයේ මුල් සැලසුමෙහි එම වසම්වලට ජලය ලබා දීමට පැවති වැඩපිළිවෙළ පසුව වෙනස් කර තිබේද;
(vi) ඊට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2025 අයවැයෙන් ඉහත යෝජනා ක්‍රමයට වෙන් කරන ලද ප්‍රතිපාදන වැය කරන අරමුණු කවරේද;
(ii) එමඟින් ඉහත අ(iii)හි සඳහන් ගැටලුවට විසඳුම් ලබා දෙන්නේද;
(iii) ඉහත යෝජනා ක්‍රමය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පවරා ගෙන තිබේද;
(iv) එසේ නම්, ඉහත පවුල්වලට පානීය ජලය ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ඉහත යෝජනා ක්‍රමයෙන් ආවරණය නොවීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු අශෝක ගුණසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, කුරුණෑගල, මල්ලවපිටිය සහ වීරඹුගෙදර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 තුළ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 167ක ජනතාවට මෙම ව්‍යාපෘතිය මඟින් පානීය ජලය ලබා දීමට අපේක්ෂා කරනවා. එම ග්‍රාම නිලධාරි වසම් පිළිබඳ විස්තරය ඇමුණුම ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඇමුණුම සභාගත* කරමි.
(ii) පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මායිමේ පිහිටි අහුගොඩ නැඟෙනහිර, ඉහළ උඩපොළ, මාවත්ත සහ මැද අහුගොඩ යන ග්‍රාම නිලධාරි වසම් හතර මේ ජල යෝජනා ක්‍රමයෙන් ආවරණය වෙන්නේ නැහැ.
(iii) මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ 2037 වනවිට උක්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5හි ග්‍රාම නිලධාරි වසම් 167ක් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි. එමඟින් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, ඇමුණුමෙහි සඳහන් ග්‍රාම නිලධාරි වසම් 80හි උස් බිම්වල ජීවත් වන ජනතාවටද පිරිසිදු පානීය නළ ජල පහසුකම් සැපයීම අපේක්ෂා කරනවා. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ සැලසුම්වලට අනුව ඇතුළත් නොවන ග්‍රාම නිලධාරි වසම් හැර ඉතුරු වසම් සඳහා ජලය සැපයෙනවා.
(iv) ග්‍රාම නිලධාරි වසම් 4 පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මායිම්වල පිහිටි ග්‍රාම නිලධාරි වසම් වන හෙයින් මෙම ජල සම්පාදන ව්‍යාපෘතියෙහි තාක්ෂණික නිර්ණායකයන්ට අනුකූලව නිර්දේශ කරලා නැහැ. ඒ සඳහා වෙනම විකල්ප යෝජනා ක්‍රමයක් යෝජනා වෙලා තිබෙනවා. මම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්නම්.
(v) නැත.
(vi) අදාළ නොවේ.
(ආ) (i) මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ කාලයේ හිඟ බිල්පත් සඳහා ගෙවීම් සිදු කිරීම සහ ව්‍යාපෘතියෙහි පොතුහැර සහ බෝයගනේ කලාපයන්හි බෙදා හැරීම් ජල නළ පද්ධතියෙහි ඉතිරි වැඩ නිම කිරීම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීම සඳහා තමයි 2025 අය වැය අපි පාවිච්චි කර තිබෙන්නේ.
(ii) ඇත්තටම 2025 අය වැයෙන් ඒකට විසඳුම් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය මඟින් 2037 වර්ෂය වන විට මම කලින් කිව්වා වාගේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 80 සම්පූර්ණයෙන් ආවරණය කරන්න බලාපොරොත්තු වනවා.
ඒ වාගේම පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මායිමේ පිහිටි අහුගොඩ නැඟෙනහිර, ඉහළ උඩපොළ, මාවත්ත සහ මැද අහුගොඩ යන ග්‍රාම නිලධාරි වසම් සඳහා ජල සැපයුම ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වීරඹුගෙදර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙන් වෙන්නේ.
(iii) ඔව්.
මේ ව්‍යාපෘතියේ තුලුමුව - water intake, ජල පවිත්‍රාගාර, අලව්ව සහ පොල්ගහවෙල බෙදාහැරීම් කලාපයන්ට අයත් සම්ප්‍රේෂණ ජල නළ පද්ධතිය, ජල ගබඩා සහ බෙදාහැරීම් පද්ධතිය යන ව්‍යාපෘතියෙන් දළ වශයෙන් සියයට 80ක පමණ කොටසක් මේ වනකොට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පවරාගෙන ඒ අදාළ කටයුතු කරගෙන යනවා.
(iv) මේ ප්‍රශ්නයෙන් අසා තිබෙන්නේ ඉහත පවුල්වලට පානීය ජලය ලබා දීමට ගනු ලබන පියවර කවරේද කියන එක.
මම කලිනුත් සඳහන් කළා වාගේ, 2037 වෙනකොට සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් මේ ප්‍රදේශයේ ජනතාවට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සරිලන ජල පවිත්‍රාගාර, water tanks සහ අනෙකුත් දේවල් හදන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිකිරීම් කටයුතුවල මුල් සැලසුමේදී, මේ නිෂ්පාදනය වන ජල ප්‍රමාණය මුළු ජනතාවට බෙදාහැරීම සඳහා කිලෝමීටර 320ක ජල නල අතුරන්න සැලසුම් කරලා තිබුණා. නමුත්, ව්‍යාපෘතියේ පැවති මූල්‍ය සීමාවන් නිසා මේ ප්‍රමාණය කිලෝමීටර 182 දක්වා අඩු කරන්න සිද්ධ වුණා. මේ අනුව මෙම බෙදාහැරීමේ නල පද්ධතිය කිලෝමීටර 320ක් සේවා දිගු කිරීමේදී අවශ්‍ය වන උස් ස්ථාන හැර, අනෙකුත් ස්ථානවලට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් මේ වෙනකොට අදාළ ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා. ඒ වාගේම, මේ ව්‍යාපෘතියේ ආවරණ කලාපය තුළ ඇති උස් ස්ථානවල තිබෙන ස්ථාන 64ක්, ග්‍රාම නිලධාරි වසම් 64ක පානීය ජලය සැපයීම සඳහා සවිස්තරාත්මක තොරතුරු අධ්‍යයනයක් මේ වන විටත් මණ්ඩලය විසින් කරගෙන යනවා. ඒ සැලසුම් සකස් කරලා අවසාන වුණාට පස්සේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමත් එක්ක අපට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්.
මම කලින් සඳහන් කළ වසම් හතර තිබෙන්නේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ. ඒ හතර වීරඹුගෙදර ජල සම්පාදන ව්‍යාපෘතිය, ගිරිඋල්ල, දඹදෙණිය සහ නාරම්මල ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ආවරණය කරන්න සැලසුම් කර තිබෙනවා. ඒ අනුව වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැවැන්දන ග්‍රාම නිලධාරි වසම පමණක් මෙම ව්‍යාපෘතියෙහි විෂය පථයට අන්තර්ගත කොට තිබෙනවා. අනෙක් කොටස් වීරඹුගෙදර ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
(v) ගරු මන්ත්‍රීතුමනි, ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනෙකුත් ග්‍රාම නිලධාරි වසම් මේ ජල සම්පාදන ව්‍යාපෘතියේ තිබෙන තාක්ෂණික නිර්ණායකයන්ට සහ ශක්‍යතාවට අනුකූල නොවීම නිසා තමයි එම ප්‍රදේශය මේ ජල ව්‍යාපෘතියෙන් ඉවත් කරලා, ඒ වෙනුවෙන් විශේෂ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks