E   |     |  

 දිනය: 2026-05-20   පිළිතුර ලබා දී ඇත 

1248/2026: යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ක්‍රියාත්මක කිරීම

1248/2025

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන 2026 වර්ෂ‍යේ සිට ක්‍රියාත්මක කරන්නේද;

            (ii)       එහි අන්තර්ගත ප්‍රධාන පියවර කවරේද;

‍(iii) එම වැඩසටහනේ වැදගත් අංගයක් වන විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරින් පුහුණු කිරීම, පළමුව සිදු කළ යුතු බව පිළිගන්නේද;

(iv) එම වැඩසටහන සඳහා ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ හා නිලධාරින්ගේ දායකත්වය, කාර්යක්ෂමව හා ඵලදායීව ලබා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

(v) එම වැඩසටහනේ ඇති මොඩියුල ක්‍රමවේදය හේතුවෙන් ගුරුවරුන්ට විෂයන් කිහිපයක් ඉගැන්වීමට සිදු වන බව පිළිගන්නේද;

  (vi) එසේ නම්, මොඩියුල ක්‍රමවේදය පාසල් පද්ධතියේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය කවරේද;

(vii) වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට නිපුණතාවය සහිත ගුරුවරුන් සපුරා ගන්නා ආකාරය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කළ දිස්ත්‍රික්ක කවරේද;

(ii) එම එක් එක් දිස්ත්‍රික්කයෙන් තෝරා ගෙන ඇති පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පාසල් කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-20

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවතී.

              (ii)      ප්‍රාථමික අධ්‍යාපනය, කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය යන සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ ප්‍රධාන කුලුනු ලෙස විෂයමාලා ප්‍රතිසංස්කරණ ද, ඊට අමතරව මානව සම්පත් සංවර්ධනය, ඇගයීම් හා තක්සේරුකරණය, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධනය, මහජනතාව දැනුවත් කිරීම් හා ප්‍රවර්ධනය යන කුලුනු යටතේ එකිනෙකට සමෝධානිත ක්‍රියාවලියක් වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ.

2026 වර්ෂයේදී පාසල්වල 1වන ශ්‍රේණියට ක්‍රියාකාරකම් පාදක -Activity Based- විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. 2027 වර්ෂයේදී, 2 ශ්‍රේණිය සඳහා ක්‍රියාකාරකම් පාදකවද -Activity Based-, 6 ශ්‍රේණිය සඳහා මොඩියුල පාදකවද -Module Based- විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ. ඉන්පසු ඉදිරි වර්ෂවල ක්‍රමානුකූලව සෙසු ශ්‍රේණිවලට විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඊට සමගාමීව සහායක කාර්යයන් ඉහත දක්වා ඇති සෙසු කුලුනු ඔස්සේ ක්‍රියාත්මක වනු ඇත.

(iii) විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරින්ට නිසි පුහුණුවක් ලබා දීම පළමුව සිදු කළ යුතු කාර්යයක් ලෙස පිළිගන්නා අතර, ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මේ වන විට ද කටයුතු කර ඇත.

(iv) 2025 වර්ෂයේ දී, 1වන ශ්‍රේණියේ සහ 6වන ශ්‍රේණියේ පළමු වාරය සඳහා ප්‍රධාන පුහුණුකරුවන් ලෙස තෝරා ගන්නා ලද නිලධාරින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කර ඇත. තවද, පාසල්වල 1වන සහ 6වන ශ්‍රේණිවලට ඉගැන්වීම් සිදු කරනු ලබන සියලු ගුරුවරුන් පළමු වන වාරයට අදාළ ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පුහුණු කිරීමට කටයුතු කර ඇත. මේ වන විට 1වන ශ්‍රේණියේ, 2වන සහ 3වන වාර සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන අවසන් කර ඇත. 1වන ශ්‍රේණියේ 2වන සහ 3වන වාරය සඳහා වන ගුරු පුහුණුව 2026.05.15 වන දින වන විට අවසන් කර ඇත. 2027 වර්ෂයේ ආරම්භ කිරීමට යෝජිත 6වන ශ්‍රේණිය සඳහා වන විෂයමාලා ප්‍රතිසංස්කරණ යටතේ එහි 2වන සහ 3වන වාරවලට අදාළ ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2026 ජූලි සහ අගෝස්තු මාසවල දී සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඉන් අනතුරුව එහි ගුරු පුහුණුව පැවැත්වේ. 2027 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත 2වන ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ පුහුණුකරුවන් පුහුණු කිරීම හා ගුරු පුහුණුව 2026 ජූලි මස ආරම්භ කර දෙසැම්බර් මාසයේදී අවසන් කිරීමට නියමිතය. විදුහල්පතිවරුන් හා පළාත් මට්ටමේ නිලධාරින් පුහුණුව හා දැනුවත් කිරීම 2025 වර්ෂයේදී ආරම්භ කළ අතර, මෙම වර්ෂයේදී අඛණ්ඩව පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත ය.

(v) නැත.

පැරැණි විෂය නිර්දේශය ක්‍රියාත්මක වීමේදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඇතැම් ගුරු භවතුන් සඳහා තම විෂයයට අදාළව නියමිත කාලච්ඡේද පාසල තුළ ප්‍රමාණවත් පරිදි නොමැති අවස්ථාවන්හිදී හා ඇතැම් විෂයයන් සඳහා ගුරු භවතුන් ඌන වන විට එම විෂයයන් ආවරණය කිරීමට විෂයයන් කිහිපයක් ඉගැන්වීමට සිදු වේ. මෙය ඔවුන් උගත් විෂයයන් හා විෂය ප්‍රවීණතාව මත රඳා පවතී. පාසල්වල එම විෂයයන්හි ප්‍රවීණතාව සහිත ගුරු භවතුන් ඇසුරින් එම විෂයයන් කළමනාකරණය කර ගනු ඇත. මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මොඩියුල ‍ක්‍රමවේදය හඳුන්වා දීම මත සිදු වූවක් නොවේ.

(vi) මෙයට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමේ නිර්ණායක සැකසීම, පුහුණුව, පාසල් පද්ධතිය සවිබලගැන්වීම පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය, සාමාන්‍ය අධ්‍යාපන අංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශය මේ වන විට අදාළ කටයුතු සිදු කරයි. මෙය 2026 වර්ෂයේ සිදු නොවන අතර නව ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියට විෂය මාලා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී ඉදිරියේදී සිදු වීමට නියමිත ය.

(vii) මෙයට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමේ නිර්ණායක සැකසීම, පුහුණුව, පාසල් පද්ධතිය සවිබලගැන්වීම පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය, සාමාන්‍ය අධ්‍යාපන අංශයේ සැමට අධ්‍යාපන ශාඛාව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංශය මේ වන විට අදාළ කටයුතු සිදු කරයි. මෙය 2026 වර්ෂයේ සිදු නොවන අතර නව ප්‍රතිසංස්කරණ යටතේ 10 ශ්‍රේණියට විෂය මාලා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී ඉදිරියේදී සිදු වීමට නියමිත ය.

(ආ) (i) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් හෝ දිස්ත්‍රික්ක කීපයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන්නක් නොවේ. 2026 වර්ෂය ආරම්භයේදී, පාසල්වල 1වන ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර ඇත්තේ සමස්ත දිවයින ආවරණය වන පරිදි ය.

(ii) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා, ඉහත (ආ) (i) හි ද දක්වා ඇති පරිදි එක් එක් දිස්ත්‍රික්කයෙන් යම් පාසල් සංඛ්‍යාවක් තෝරා ගෙන නැත. අදාළ ශ්‍රේණි සහිත රජයේ සියලු පාසල්වලට අදාළ වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වේ.

(iii) ඉහත (ආ) (i) හා (ii) පිළිතුරු අනුව අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2026-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් හේවගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks