පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1175/2025
ගරු මංජුල සුගත් රත්නායක මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පිළිවෙළින් 1997, 1999, 2002 සහ 2006 වර්ෂවල ක්‍රියාත්මක කරන ලද පුනස්ථාපන, දිගාමඩුලු ජන උදාන, නාමල් උයන හා දිඝායුගම සහ ලෝක ජනාවාස දයාපුර යන නිවාස ව්‍යාපෘතිවල ඉඩම් පවරා ගෙන අදාළ ප්‍රතිලාභීන් වෙත ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;
(ii) ඒ අතරින් පුනස්ථාපන, දිගාමඩුලු ජන උදාන සහ ලෝක ජනාවාස යන නිවාස ව්‍යාපෘති සඳහා ඉඩම්ලාභීන් විසින් මුදල් එකතු කර, වට මැන, අදාළ වාර්තා අධිකාරිය වෙත යොමු කර ඇතත් මේ වනතෙක් ඉඩම් පවරා ගැනීමට අදාළ ඉල්ලීම් අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙත අමාත්‍යාංශය හරහා යොමු නොකිරීමට හේතු කවරේද;
(iii) එම ඉඩම් පවරා ගැනීමේ ඉල්ලීම අමාත්‍යාංශ ලේකම් හරහා අම්පාර ප්‍රාදේශීය ලේකම්ට යොමු කිරීමට ගත වන කාලය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත නිවාස ව්‍යාපෘතිවලට අමතරව අම්පාර දිස්ත්‍රික්කය තුළ මේ වනතෙක් ප්‍රතිලාභීන්ට ඔප්පු ලබාදී නොමැති නිවාස ව්‍යාපෘති තිබේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
(iii) එම ඔප්පු ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු මංජුල සුගත් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
1997 ක්‍රියාත්මක කරන ලද පුනස්ථාපන නිවාස ක්‍රමය, 1999දී ක්‍රියාත්මක කරන ලද දිගාමඩුලු ජන උදාන නිවාස ක්‍රමය, 2002දී ක්‍රියාත්මක කරන ලද නාමල් උයන නිවාස ක්‍රමය සහ 2006දී ක්‍රියාත්මක කරන ලද ලෝක ජනාවාස යන නිවාස ව්‍යාපෘති පිහිටි අම්පාර ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම් මෙතෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබා දීලා නැහැ. ඒ හේතුව නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ඔප්පු ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා.
ඒ වාගේම දීඝායුගම සහ දයාපුර යන නිවාස ව්‍යාපෘති ක්‍රම දෙක 2015න් පස්සේ ප්‍රතිලාභීන් වෙත ණය ලබා දී ක්‍රියාත්මක කළ ව්‍යාපෘති දෙකක්. එම නිවාස ව්‍යාපෘති පිහිටි ඉඩම් පවරා ගැනීමට අදාළ කටයුතු මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒ පවරා ගැනීමෙන් පස්සේ අපට ඔප්පු ලබා දීමේ කටයුතු සම්පූර්ණ කරන්න පුළුවන්.
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය ලබා දී ඇති, අධිකාරියට පවරාගෙන නොමැති ව්‍යාපෘතිවල සියලු නිවාස සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් දීමනා පත්‍ර ලබා දීම සිදු කළ යුතු බවට දිස්ත්‍රික් ලේකම් විසින් ප්‍රාදේශීය ලේකම් දැනුවත් කර තිබෙනවා. ඒ අනුව 2014දී අම්පාර ප්‍රාදේශීය ලේකම් විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කරලා තිබෙනවා, ඒ සම්බන්ධයෙන් එම අධිකාරියේ විරෝධතාවක් තිබෙනවාද, නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව 2014දීත්, නැවත 2022දීත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා විසින් ඒ ව්‍යාපෘති 5ට අදාළව ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විරෝධතාවක් නොමැති බව ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධ ලිපි ඇමුණුම 01, 02 හා 03 හැටියට දක්වා ඇත.
ඒ වාගේම විශේෂයෙන් මම මේ කාරණයත් සඳහන් කරන්න ඕනෑ. 2023.09.01 දින පැවැති රැස්වීමකදී එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා විසින් ගත් තීරණයක් අනුව මෙතෙක් පවරා නොගත් ගම්මානවල පදිංචිකරුවන් වෙත ඔප්පු ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තීරණයක් අරගෙන තිබෙනවා. ඇත්තටම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් එහෙම ඔප්පු ලබා දෙන්න නම් ඒ අදාළ ඉඩම ප්‍රාදේශීය ලේකම් මඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරාගෙන ඒ හරහා තමයි ඔප්පු ලබා දෙන්න ඕනෑ. නමුත් එහෙම ඔප්පු ලබා දීමේ අවශ්‍යතාවක් අපි දකින්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් මඟින්ම මේ ඔප්පු ලබා දීමේ කටයුතු කරගෙන යන්න පුළුවන්.
මොකද, මෙම ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරාගෙන නැවත වරක් ඔප්පු ලබා දීම සඳහා කටයුතු කළොත් දීර්ඝ කාලයක් ගතවනවා. ඒකෙන් ප්‍රතිලාභීන්ට අවාසියක් සිදු වන්න පුළුවන්. ඒ අනුව දැන් අපි තීරණය කරලා තිබෙන්නේ එම ප්‍රාදේශීය ලේකම් මඟින්ම අදාළ දීමනා පත්‍ර ලබා දීමටයි. අපි ඒ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රාදේශීය ලේකම් වෙත දැනුම් දීලා තිබෙනවා. ඊට අදාළ 2025 ජූලි 02 දිනැති ලිපිය ඇමුණුම 04 හැටියට දක්වා ඇත.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
(iii) මම කලින් සඳහන් කළා වාගේ පවරා ගැනීමේ මූලික අවස්ථාව වන, ආයතන ප්‍රධානීන් මඟින් රේඛීය අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සහ ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් ගත වනවා. නමුත්, ඉහත ඉඩම් පවරා ගැනීමට ප්‍රථම මෙම ඉඩම් සඳහා අම්පාර ප්‍රාදේශීය ලේකම් මඟින් බලපත්‍ර, දීමනා පත්‍ර හෝ ඔප්පු ලබා දීමේ හැකියාව තිබෙනවා. හැබැයි, දැනටමත් ඔප්පු ලබා දීලා තිබෙනවාද කියන එක සනාථ කර ගන්න ඕනෑ. ඒ අනුව තමයි මම කලින් සඳහන් කළා වාගේ 2025.07.02 දිනැති ලිපිය අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබෙන්නේ. එම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් පිළිතුරු ලැබුණු පසු අපට සතියක කාලයක් තුළ ඉඩම් පවරා ගැනීමේ ඉල්ලීම යොමු කරන්න පුළුවන්.
(ආ) (i) ඔව්.
(ii) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක තිබෙන එවැනි නිවාස ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ විස්තර ඇමුණුම 05 යටතේ දක්වා තිබෙනවා. උදාහරණයක් හැටියට ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගත්තොත්, ලාහුගල, කිතුලාන වත්ත නිවාස ව්‍යාපෘතියේ නිවාස 50ක් තිබෙනවා. දැනට ඔප්පු ලබා දීලා තිබෙන්නේ නිවාස 16කටයි. තවත් නිවාස 34කට ඔප්පු ලබා දෙන්න තිබෙනවා. ඒ ආදී වශයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ තිබෙන නිවාස සංඛ්‍යාව සහ දැනට ලබා දී තිබෙන ඔප්පු සංඛ්‍යාව, ඉදිරියේදී ඔප්පු ලබා දීමට නියමිත නිවාස සංඛ්‍යාව පිළිබඳ විස්තර මෙම ඇමුණුමෙහි ඇතුළත් වනවා. ඇමුණුම් අංක 05 සභාගත* කරනවා.
(iii) ඒ සඳහා හේතු ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්.
8(1) වගන්තිය යටතේ තමයි සාමාන්‍යයෙන් ප්‍රතිලාභීන් වෙත ඔප්පු ලබා දීම සිදු කරන්නේ. අපි දේපළවලට අදාළ තක්සේරු වටිනාකම අවස්ථා කිහිපයකදී payment scheme එකකින් තමයි ප්‍රතිලාභීන්ට ගෙවීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ.
සමහර වෙලාවට ඔවුන් අවුරුදු 5ක, 6ක කාලයක් ගන්නවා, මේ තක්සේරු වටිනාකම ගෙවා අවසන් කරන්න. සමහර ඉඩම්වල තක්සේරු වටිනාකම තවම ගෙවා අවසන් කර නැහැ. ඒ නිසා අපිට ඔප්පු ලබා දීමේ කටයුතු සිදු කරන්න බැහැ. තවත් සමහර අවස්ථා තිබෙනවා, එක්කෝ මුල් ඉඩම්ලාභියා මිය ගිය, එහෙම නැත්නම් පදිංචිය අත්හැර ගිහිල්ලා නිවැරැදිව පවරා දීම සිදු නොකරපු. එවැනි අවස්ථාවලදීත් සමහර සංකීර්ණ ගැටලු මතු වනවා.
ඒ වාගේම 2014/01 චක්‍රලේඛය අනුව නියමානුකූල කළ නොහැකි අනවසර පදිංචිකරුවන් සමහර නිවාස ව්‍යාපෘති තුළ ඉන්නවා. ඒ අයට ඔප්පු ලබා දීමේ කටයුත්ත කරන්න බැහැ. ඒ වාගේම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට යෝජිත නිවාස ව්‍යාපෘති පිහිටි ඉඩම් සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ පළාත් ඉඩම් කොමසාරිස් මඟින් ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යොමු කර ඇතත්, මේ වනතුරු ඉඩම පවරා ගැනීමට කටයුතු සම්පූර්ණ කර නැති නිසා ඒ සමහර ව්‍යාපෘතිවලත් ඔප්පු ලබා දීමේ කටයුතු අපට අවසන් කරන්න පුළුවන් වෙලා නැහැ.
ඒ වාගේම යුද්ධයෙන් අවතැන්වූවන්ගේ නිවාස සහ සුනාමි ව්‍යසනයට හසු වුණු නිවාස සම්බන්ධයෙන් -එම ඉඩම්වල අයිතිය සහ ඒ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ කවුද කියන එක සම්බන්ධයෙන්, මොන අමාත්‍යාංශය යටතේද කියන එක සම්බන්ධයෙන්- පවතින ගැටලු නිසා ඔප්පු ලබා දීමේ දුෂ්කරතා පැන නැඟී තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks