01

E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1100/2025: අධිසේවක පදනම මත පත් කරන ලද විදුහල්පතිවරුන්: පරිපාලන දීමනාව

1100/2025

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,—  අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)        (i)       අතිදුෂ්කර පාසැල්වල දීර්ඝ කාලයක සිට විදුහල්පතිවරුන් ලෙස සේවය කළ/සේවය කරන විදුහල්පතිවරුන් 2012.08.08 දිනැති අංක අමප/12/1101/530/035‍‍ දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2(ii) ශ්‍රේණියේ හා 3 ශ්‍රේණියේ විදුහල්පතිවරුන් ලෙස පත් කළ බවත්;

(ii) 2021.11.23 දිනැති අංක අමප/21/1824/308/139 දරන අමාත්‍ය මණ්ඩල තීරණය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ 2022.06.02 දිනැති අංක PSC / EST / 02 -05 / 01 / 2020 දරන ලිපිය ප්‍රකාරව ඔවුන්ගේ පත්වීම් ස්ථිර කළ බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) පාසැල් වර්ගීකරණය අනුව අනෙකුත් පාසැල්වල විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන පරිපාලන දීමනාව ඉහත (අ)හි සඳහන් විදුහල්පතිවරුන්ටද 2018 මාර්තු දක්වා ගෙවූ නමුත්, මේ වනවිට එය නොගෙවන බව දන්නේද;

(ii) ඊට හේතු කවරේද;

(iii) විදුහල්පති පුරප්පාඩු සඳහා පත්වීමට සහ අනෙකුත් විදුහල්පතිවරුන් සමඟ සුහද මාරු සඳහා කරනු ලබන ඉල්ලීම් මේ වනවිට ප්‍රතික්ෂේප කරන බව දන්නේද;

(iv) ඊට හේතු කවරේද;

(v) අභ්‍යන්තර හා අන්තර් කලාප ස්ථාන මාරුවීම් සහ උසස්වීම් ඉහත (අ)හි සඳහන් විදුහල්පතිවරුන්ට ලබා දෙන්නේද;

  (vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.

(අ)          (i)      ඔව්. අංක අමප/12/1101/530/35 හා 2012.08.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/AP/A12/10/2010 හා 2012.09.21 දිනැති උපදෙස් අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තිය II ශ්‍රේණියට අධිසේවක පදනම මත නිලධාරින් 1399ක් හා 3 පන්තියට අධිසේවක පදනම මත නිලධාරින් 142ක් ලෙස පත්වීම් ලබා දී ඇත.

(ii) ඔව්. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ අංක PSC/EST/02-05/01/2020 හා 2022.06.02 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව එවැනි නිලධාරින් අධිසේවක පදනම මත සේවයේ ස්ථිර කර, ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති නිලධාරින්ට අධිසේවක පදනම මත ශ්‍රේණි උසස්වීම් ලබා දීම ද සිදු කරනු ලබයි.

(ආ) (i) විදුහල්පති දීමනාව අනුමත කර තිබෙන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින්ට වන අතර ඉහත (අ) හි සඳහන් නිලධාරින්ගේ පත්වීම් ලිපියේ කොන්දේසි ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තනතුරට අදාළ වැටුප් ලබා ගැනීමේ හිමිකම හැර වෙනත් කිසිදු වරප්‍රසාදයක් හිමි නොවේ.

(ii) අධ්‍යාපන ලේකම්ගේ අංක ED/04/60/01/වි.දීමනා/2017 හා 2017.03.29 දිනැති ලිපිය අනුව ආ (I) හි සඳහන් දීමනාව ලබා දිය යුතු වන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 2 හා 3 පන්තියේ වරප්‍රසාද හිමි නිලධාරින් සඳහා පමණක් වේ.

(iii) PSC/EST/02-05/01/2020 හා 2022.06.02 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව අධිසේවක පදනම මත පත්වීම් ලබා ඇති මෙවැනි නිලධාරියකුට තවත් එවැනි නිලධාරියකු සමඟ සුහද ස්ථාන මාරු ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසා ඇත. ඊට බැහැරව ලැබෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

(iv) මෙම නිලධාරින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/AP/A12/10/2010 හා 2012.09.21 දිනැති ලිපියේ 02 (iv) පරිදි ‍පත්වීම් ලබා දී ඇති අතර මෙවැනි නිලධාරින්ගේ පත්වීම් ලිපියේ 2 ඡේදයේ (II) වගන්තිය අනුව විදුහල්පති සේවයේ නිත්‍ය තනතුරකට පත්වීම ලබා ගැනීම විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ සඳහන් කොන්දේසි අනුව සිදු විය යුතු බව දක්වා ඇත. ඒ අනුව මෙවැනි නිලධාරින් නිත්‍ය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සඳහා පත් කිරීම සේවා ව්‍යවස්ථානුකූල බඳවා ගැනීමක් යටතේ සීමිත තරග විභාගයකින් සමත්ව, ව්‍යවස්ථා ප්‍රකාර සුදුසුකම් සම්පූර්ණ කිරීම මත පමණක් සිදු කරනු ලැබේ. ස්ථාන මාරු ඉල්ලීම් පිළිබඳව ඉහත (iii) හි දක්වා ඇති පරිදි PSC/EST/02-05/01/2020 දරන ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

(v) ඉහත (iii) හි දක්වා ඇති පරිදි PSC/EST/02-05/01/2020 හා 2022.06.02 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

(vi) ඉහත (iii) හි දක්වා ඇති පරිදි PSC/EST/02-05/01/2020 හා 2022.06.02 දිනැති ලිපියේ උපදෙස් ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks