බලන්න

E   |     |  

 දිනය: 2025-08-07   පිළිතුර ලබා දී ඇත 

1080/2025: විශේෂඥ වෛද්‍ය සේවා: විස්තර

1080/2025

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය සේවා සංඛ්‍යාව, ඒවායේ නම් සහ එක් එක් සේවාවේ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව;

            (ii)       විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඌනතාවය හේතුවෙන් එම සේවා නොමැති, 2020 වර්ගීකරණය අනුව ද්විතීක, තෘතියික හා විශේෂිත සත්කාරක රෝහල් සංඛ්‍යාව සහ ඒවායේ පුරප්පාඩු සංඛ්‍යාව;

(iii) 2020-2024 දක්වා එක් එක් විශේෂඥ වෛද්‍ය සේවාවෙන් විශ්‍රාම ගිය, සේවය අතහැර ගිය, විදේශ නිවාඩු ගත්, මිය ගිය සහ ඉල්ලා අස්වූ සංඛ්‍යාව;

(iv) 2020-2024 දක්වා එක් එක් විශේෂඥ වෛද්‍ය සේවාවට තෝරා ගත් සංඛ්‍යාව;

(v) ඌනතාවය/විශ්‍රාම යෑම් අනුව තරඟ විභාගයෙන් අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව තෝරා ගන්නේ නම්, පසුගිය වර්ෂ 5 තුළ එක් එක් වර්ෂය සඳහා තෝරා ගත් සංඛ්‍යාව;

(vi) අවුරුදු 60ට වැඩි සහ 55-60 අතර විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) විශේෂඥ වෛද්‍ය සේවා ලැබිය යුතු ශ්‍රේණිගත රෝහල් සංඛ්‍යාව කොපමණද;

(ii) පශ්චාත් උපාධි ආයතනයෙන් සහ අදාළ කොලීජියෙන් අවශ්‍ය ප්‍රමාණයට විශේෂඥ වෛද්‍යවරුන් සමත් නොකරන්නේ නම්, ඊට හේතු කවරේද;

(iii) එය නිවැරදි කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ  විශේෂඥ වෛද්‍ය සේවා සංඛ්‍යාව 72යි. එම 72ට අදාළව අනුමත cadre එක තිබෙනවා, 3181ක්. 2025 ලැයිස්තුවට ඉල්ලුම් කළ ප්‍රමාණයත් එක්කම ගත්තාම, දැනට සිටින ප්‍රමාණය 2,042යි. ඒ අනුව පුරප්පාඩු 1,139ක් පවතිනවා.  එය ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

 

(ii) විශේෂඥ වෛද්‍ය සේවාව ලබා දිය යුතු රෝහල් සංඛ්‍යාව 134යි. මා සඳහන් කළ ආකාරයට, එහි පවතින පුරප්පාඩු සංඛ්‍යාව 1,139යි. එතුමා අහන මෙම ප්‍රශ්නයට පිළිතුර මට සභාගත කරන්න පුළුවන්.  මෙම රෝහලවල තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව කොතෙක්ද කියන එක පිළිබඳව ඇමුණුම්වල සඳහන් වෙනවා.  එය ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

 

(iii) 2020-2024 වර්ෂය 5 තුළදී සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 82යි. සේවයෙන් ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 07යි.  ස්ථිර ලෙස වෙනත් ආයතනවලට මුදා හැර ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 57යි.  වැටුප් රහිත නිවාඩු ලබාගත් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 191යි. විශ්‍රාම ගත් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 233යි.  ඒ අනුව මුළු එකතුව 570ක් වෙනවා. එය ඇමුණුම 03 මඟින් දක්වා ඇත.

 

             (iv)      2020 සිට 2024 වර්ෂය දක්වා එක් එක් විශේෂඥ වෛද්‍ය සේවාවාට තෝරාගත් සංඛ්‍යාව: 2020 වර්ෂයේ 51යි; 2021 වර්ෂයේ 82යි; 2022 වර්ෂයේ 199යි; 2023 වර්ෂයේ 275යි; 2024 වර්ෂයේ 294යි.

              (v)      වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් වෛද්‍යවරුන් අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවන්ට බඳවා ගන්නේ, බඳවා ගැනීමේ විභාගයෙන් ඔවුන් සමත් වූ පසුවයි.

2020 - 2024 වර්ෂය දක්වා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇමුණුම 04 මඟින් දක්වා ඇත.  එය මා කලින් සඳහන් කළ විශේෂඥ වෛද්‍ය සේවා 72 ට අදාළව වෙන් වෙන්ව දක්වා ඇත.

 

(vi)        අවුරුදු 60ට වැඩි  - 201

                         අවුරුදු 55-60 - 546

(ආ)       (i)        134කි.

             (ii)       වෛද්‍යවරුන් පශ්චාත් උපාධි පාඨමාලාවන්ට බඳවා ගන්නේ පශ්චාත් උපාධි ආයතනය විසින් පවත්වනු ලබන බඳවා ගැනීමේ විභාගය සමත් වූ පසුවයි. එම විභාගය සමත් වූ පසු ලකුණු ලබා ඇති අනුපිළිවෙළ - merit order එක -  අනුව පවතින පුහුණු කිරීමේ ඒකක සංඛ්‍යාවට ගැළපෙන පරිදි අදාළ රෝහල්වල පුහුණුවීම් ලබා දෙයි.

එම පුහුණුව අවසන් වීමෙන් පසුව ඔවුන් අදාළ විෂයයෙන් පශ්චාත් උපාධියට මුහුණ දෙයි. එක් එක් විෂයෙහි සමත්වීමේ නිර්ණායක වෙනස් වන අතර එම නිර්ණායක සපුරා ඇති වෛද්‍යවරුන් අදාළ පශ්චාත් උපාධියෙන් සමත් වෙයි. (අසමත් වෛද්‍යවරුන්ට තවත් පස් වතාවක් අදාළ විභාගයට මුහුණ දීමට හැකියාව ඇත.)

විභාගය සමත් වන වෛද්‍යවරුන් වැඩිදුරටත් අවම වසරක දේශීය පුහුණුවක් මෙන්ම අවම වසරක විදේශීය පුහුණුවක් ලබා ගත යුතුය. (මෙම පුහුණු කාලය විෂයෙන් විෂයට වෙනස් වේ.) විදේශීය පුහුණුව අවසන් කර ලංකාවට නැවත වාර්තා කරන වෛද්‍යවරුන්හට මාණ්ඩලික සහතික කරණයට, Board Certification එකට පෙර වාචික විභාගයකට - Pre-Board Certification Assessment, PBCA; portfolio based viva එකකට - මුහුණ දීමට සිදු වේ.  එය සමත් වූ වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් අදාළ අනුමැතීන් ලබාගත් පසුව මාණ්ඩලික සහතිකකරණය - Board Certification - ලබා දෙයි.

මෙම ක්‍රියාපටිපාටියට අනුව අදාළ නිර්ණායක සපුරාලන වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස නම් කෙරේ.

(iii) විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සිදු කරනු ලබන්නේ පවතින ගෝලීය සම්මත දර්ශක අනුව පුහුණු කිරීමේ ක්‍රමවේදයට අනුවයි. ඒ සඳහා පශ්චාත් උපාධි ආයතනයන්හි නිරීක්ෂණ ලබා ගන්නා අතර, එය කාලානුරූපව වෙනස්වීම්වලට භාජන වේ.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks