බලන්න

E   |     |  

 දිනය: 2026-08-21   පිළිතුර ලබා දී ඇත 

1077/2026: ඊශ්‍රායල-ඉරාන ගැටුම: ශ්‍රී ලංකා ආර්ථිකයට සහ ඉන්ධන ආනයනයට ඇති බලපෑම

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ඊශ්‍රායල-ඉරාන ගැටුම හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල සහ ආනයන පිරිවැය කෙරෙහි ඇතිවී තිබෙන බලපෑම තක්සේරු කර තිබේද;

  (ii) ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය සහ ජීවන වියදම යනාදිය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති හදිසි අවස්ථා ක්‍රියාමාර්ග කවරේද;

  (iii) ඉන්ධන ආනයන විවිධාංගීකරණය කිරීම හෝ දිගු කාලීන සැපයුම් ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කිසියම් උපාය මාර්ගයක් තිබේද;

(iv) වෙළඳ මාර්ගවල බාධා පැමිණීම හේතුවෙන් කොළඹ සහ හම්බන්තොට වරායන් කෙරෙහි ඇති කරන බලපෑම තක්සේරු කර තිබේද;

  (v) නැව්ගත කිරීමේ රක්ෂණ වාරික සහ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය මඟින්          ශ්‍රී ලංකාවේ වෙළඳාම කෙරෙහි බලපෑම් ඇති වන්නේද;

  (vi) ගැටුමෙන් ඇති වන අතුරු බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණය කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) (i) තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ගෙවුම් ශේෂය, අයවැය හිඟය සහ ණය සේවාකරණය කෙරෙහි ඇති විය හැකි යැයි අපේක්ෂිත බලපෑම කවරේද;

  (ii) අවදානමට ලක්විය හැකි ක්ෂේත්‍ර ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද; 

  (iii) මෙකී කම්පනවලින් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා සූදානම් කර ඇති රාජ්‍ය මූල්‍ය හෝ මුදල් ප්‍රතිපත්තිමය මෙවලම් කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-21

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                         2026 වසරේ පළමු භාගය තුළ සමුච්චිත ඉන්ධන ආනයන වියදම දළ වශයෙන් ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 3,168ක් වූ අතර, එය 2025 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,995කට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ලෙස වාර්තා වේ.

(ii)       •       2026 වසරේ මැයි මාසයේදී මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් සියයට 8.75 දක්වා ඉහළ නංවමින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරන ලදී. දේශීය හා ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ මතු වෙමින් පවතින අවදානම් පිළිබඳව මහ බැංකුව තවදුරටත් සුපරික්ෂාකාරීව ඇගැයීමට ලක් කරන අතර, දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා සුදුසු පරිදි තවදුරටත් ප්‍රතිපත්තිමය පියවර ගැනීමට සූදානම්ව සිටී.

  • · ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම සඳහා රජය විසින් පෙර පැවති QR කේත ක්‍රමය මෙන්ම වාහන අංකය පදනම්ව ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය 2026 මාර්තු මස සිට වහාම ක්‍රියාත්මක කරන ලදී.
  • · පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණ කර ගනිමින් රජය විසින් රුපියල් බිලියන 100ක සහන පැකේජයක් 2026 අප්‍රේල් මස ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

(iii) පහත සඳහන් උපාය මාර්ග ගෙන තිබේ.

විවිධ සැපයුම් මාර්ග හරහා ලබා ගත හැකි විකල්ප බොර තෙල් වර්ග වෙත අවධානය යොමු කර ඇත. එහිදී සාමාන්‍යයෙන් සපුගස්කන්ද පිරිපහදුවට ආනයනය කරන Murban වර්ගයේ බොර තෙල්වලට අමතරව WTI, Miri Light සහ Saharan Blend යන බොර තෙල් වර්ග සඳහාද තනි ටෙන්ඩර් - single tenders - මඟින් ලංසු කැඳවන ලදී. තවද, එම අවස්ථාවේදී බොර තෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ නම්‍යශීලිභාවය ඉහළ නැංවීම සඳහා නැවෙන් නැවට තෙල් මාරු කිරීමේ - STS - ක්‍රමවේදයටද ඉඩ ලබා දෙමින් එම ටෙන්ඩර් කැඳවන ලදී.

(iv) ඍජුවම තක්සේරු කර නොමැත.

(v) ඔව්.

ශ්‍රී ලංකාව සඳහා ආනයන කෙරෙහි එල්ල වන ප්‍රධානතම බලපෑම වන්නේ ආනයනික භාණ්ඩවල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාමයි. ඉන්ධන, ආහාර ද්‍රව්‍ය, පොහොර, කාර්මික අමුද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව සාගර ප්‍රවාහනය මත බෙහෙවින් යැපෙන වෙළෙඳ භාණ්ඩ සහ අතරමැදි යෙදවුම් සඳහා මෙය විශේෂයෙන්ම බලපානු ඇත.

අපනයනවලට අදාළව ගත් කල ඉහළ යන ප්‍රවාහන හා රක්ෂණ පිරිවැය හේතුවෙන් ශ්‍රී ලාංකීය නිෂ්පාදන විදේශීය වෙළෙඳ පොළවල් වෙත සැපයීමේ පිරිවැය ඉහළ යා හැකි අතර, එමඟින් අපනයනකරුවන්ගේ ලාභ ආන්තික සහ මිල තරගකාරිත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වේ. ජාත්‍යන්තර ගැනුම්කරුවන් භාණ්ඩ සැපයීමේ මිල සහ ඒ සඳහා වන පූරක කාලය පිළිබඳව වඩාත් සංවේදී වන ඇඟලුම්, තේ සහ රබර් වැනි අපනයන ක්ෂේත්‍ර සඳහා මෙය විශේෂයෙන්ම බලපෑ හැකිය.

(vi) • කලාපීය සහ ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා ගැටුමේ බරපතළ ඇඟවුම් සැලකිල්ලට ගනිමින්, අර්ථවත් සංවාදයක නිරත වන ලෙස සහ ගැටුම් අවම කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමින් අවශ්‍ය අවස්ථාවන්හිදී මැදිහත් වීම.

• ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශ්වකරු අතර මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ මැද පෙරදිග රටවල ඔහුගේ පාර්ශ්වකරුවන් අතර අවශ්‍ය අවස්ථාවලදී දුරකථන සංවාද සඳහා පහසුකම් සැලසීම.

• මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හරහා ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කොන්සියුලර් සහාය සහ සුභසාධන සහාය සැපයීම සම්බන්ධීකරණය කිරීම හා අවශ්‍ය පරිදි කාලෝචිත තොරතුරු බෙදා හැරීම.

තවද, මැද පෙරදිග යුද ගැටුම් ආරම්භයේ සිට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මෙරට පිහිටි ‍විදේශ තානාපති කාර්යාල සහ අදාළ අංශයන් සම්බන්ධීකරණය කරමින් හදිසි ප්‍රතිචාර ඒකකයක් පවත්වාගෙන යන ලදී.

• එසේම ගැටුම් පවතින කලාප තුළ ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් සිය රටට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවන්හිදී එම කටයුතු අදාළ විදේශ රාජ්‍යයන්හි බලධරයන් සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සැපයීමද සිදු කරන ලදී.

• එම යුද ගැටුම් තීව්‍ර වූ අවස්ථාවේදී ගුවන් ගමන් ක්ෂණික අත්හිටුවීම් සහ බාධා සිදුවීම් හේතුවෙන් බලපෑමට ලක් වී ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි විදේශක‍යන් සිය රටට යැවීම සඳහා අවශ්‍ය ගුවන් සේවා සමඟ සාකච්ඡා පවත්වමින් සහ ඔවුන්ගේ රටට යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණ කටයුතු සැලසීම මෙම හදිසි ප්‍රතිචාර ඒකකය විසින් සිදු කරන ලදී.

(ආ) (i) ගරු කථානායකතුමනි, ගෝලීය තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අපේ රටට විතරක් නොවෙයි, පොදුවේ ගෝලීය රටවල් බොහොමයකට ප්‍රශ්න රාශියක් අත්විඳින්න සිද්ධ වෙලා තිබෙනවා. ඒවා අතර ඉන්ධන ආනයන වියදම ඉහළ යෑම, වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීම, ජීවන වියදම ඉහළ යෑම, අය වැය පරතරය පුළුල් වීම හා වෙළෙඳාමට ඇති වුණු බලපෑම් වැනි කාරණා තිබෙනවා. මෙවැනි තත්ත්ව අද අපේ රටට විතරක් නොවෙයි සීමා වෙලා තිබෙන්නේ. ගෝලීය වශයෙන් රටවල් බොහොමයකට මේ තත්ත්වය බලපානවා. මෙලෙස සිද්ධ වන කාරණාවලදි අපි වාගේ රටකට කරන්න පුළුවන් වෙන්නේ නිරන්තරයෙන් ඒවා ගැන නිරීක්ෂණය - observe - කරමින්, ඒවා analyse කරමින්, දත්ත හරියට ලබා ගනිමින් අවශ්‍ය අවස්ථාවන්හීදී ඒ සඳහා මැදිහත් වීමයි. එමඟින් ජනතාවට වෙන්න පුළුවන් බලපෑම අවම කිරීම සහ ජනතාවට වන බලපෑම් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් සකස් කිරීම සහ ඒකට සූදානම් වීම තමයි ගරු කථානායකතුමනි, එහිදී අපට කරන්න වෙන්නේ. සමස්ත ගෝලීය ආර්ථිකයට බලපාන තත්ත්වයන් ශ්‍රී ලංකාව වැනි රටක් හොඳට නිරීක්ෂණය කළ යුතුයි. අපි දකිනවා, අපේ අසල්වාසී රටවලත් විවිධ ප්‍රශ්න මතු වෙලා තිබෙන බව. ඒවා කොහොමද අපේ රටට බලපාන්නේ කියන එක පිළිබඳවත් අපට හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ.

(ii), (iii) රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

  • · පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණ කර ගනිමින් රජය විසින් රුපියල් බිලියන 100ක සහන පැකේජයක් 2026 අප්‍රේල් මස ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.
  • · ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මතුපිට උද්ධමනය සියයට 5ක උද්ධමන ඉලක්කය මත හෝ එයට ආසන්න මට්ටමක පවත්වාගෙන යාම සඳහා ඉදිරි දැක්මක් සහිතව සහ දත්ත මත පදනම්ව මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීම සිදු කරනු ලබයි.
  • · නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන රාමුවට අනුකූලව මහ බැංකුව විසින් නම්‍යශීලි විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර, එය ස්වයංක්‍රීය ආර්ථික කම්පන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරයි.
  • · ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර තුනක කාල සීමාවක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කරමින්, 2026 මැයි මාසයේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය - OPR - පදනම් අංක 100කින් සියයට 8.75ක් දක්වා ඉහළ නංවන ලදී.
  • · ඉදිරියටත් ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යාම නිසා ඇති වන උද්ධමන පීඩන, අපේක්ෂිත කාල සීමාවට වඩා වැඩි කාලයක පැවතුණහොත් සහ උද්ධමන අපේක්ෂා උද්ධමන ඉලක්කයෙන් විතැන්වීමේ අවදානමක් මතු වුවහොත් සුදුසු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks