01

E   |     |  

 දිනය: 2025-08-19   පිළිතුර ලබා දී ඇත 

1075/2025: මාර්ගගත ක්‍රමයට ආසන වෙන් කරන ලද ශ්‍රීලංගම බස් ගමන් වාර: අවලංගු කිරීම

1075/2025

ගරු තුරෛරාසා රවිකරන් මහතා,—  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විකල්ප වැඩපිළිවෙළකින් තොරව 2025 වර්ෂය තුළ අවලංගු කර ඇති මාර්ගගත ක්‍රමයට ආසන වෙන් කිරීමේ පහසුකම සහිත බස්රථ ගමන් වාර සංඛ්‍යාව කොපමණද;

(ii) එම අවලංගු කරන ලද බස්රථ ගමන් වාර වෙනුවෙන් අය කර ගන්නා ලදුව, එහෙත් මේ  වනතෙක් නැවත ලබාදී නොමැති මුළු මුදල කොපමණද;

(iii) ඉහත සඳහන් බස්රථ ගමන් වාර අවලංගු කරනු ලබන අවස්ථාවලදී, ඒ බව මගීන්ට කල් ඇතිව දැනුම් දීමට සහ ඊට අදාළ මුදල් නොපමාව ආපසු ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(iv)     මගීන්ගේ යහපත උදෙසා විනිවිදභාවයෙන් යුතුව මෙම කටයුත්ත සිදු කෙරෙන බව සහතික කිරීම පිණිස මාර්ගගත ක්‍රමයට ආසන වෙන් කිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-19

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        2025 වර්ෂය තුළ මේ දක්වා ආසන වෙන් කරන ලද ගමන් වාර 4,928ක් අවලංගු වී ඇත. ඒ වෙනුවෙන් ගමන් වාර 2,541ක් සඳහා විකල්ප බස් රථද, ගමන් වාර 1,505ක් සඳහා මගීන්හට වෙනත් දිනයක් හෝ වෙනත් ගමන් වාරයක් ලබා දී ඇත.  ඒ අනුව අවලංගු වී ඇති ගමන් වාර 4,928න් ගමන් වාර 4,046 සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇත.

(ii) රුපියල් 1,196,040යි.

(iii) ගමන් වාරයක් අවලංගු  වීමකදී පළමුව විකල්ප බස් රථයක් යොදා ගැනීමට ප්‍රමුඛතාව දෙනු ලැබේ. යම් හෙයකින් වෙනත් බස් රථයක් ආදේශ කිරීමට නොහැකි අවස්ථාවලදී ආසන වෙන් කරන ලද සියලුම මගීන්හට කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන අතර, මගීන්ගේ කැමැත්ත අනුව එදිනම ඇති වෙනත් බස් රථයක හෝ වෙනත් දිනයක එම ගමනාන්තය දක්වා යාමට පහසුකම් සපයනු ලැබේ.

යම් හෙයකින් ඉහත කරුණු දෙකටම එකඟ නොවන මගීන්හට ගෙවූ මුදල නැවත ලබා දෙනු ලැබේ.

එසේ මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියේදී, අදාළ මගියාගේ බැංකු ගිණුම් විස්තර, මගියා අදාළ දිනයේ ගමන් නොකළ බව, නියමිත ගාස්තුව මහජන බැංකුවේ ගමනාගමන මණ්ඩලයේ අදාළ ගිණුමට බැර වී ඇති බව, බස් රථය ස්ථිරවම ධාවනය නොවූ බව, නැවත මුදල් ලබා දීමේදී අදාළ මගියාගේම ගිණුමට බැර වන බව යන කරුණු සනාථ කර ගැනීම සඳහා දින කිහිපයක කාලයක් ගත වේ.

(iv) මේ වන විටත් බස් රථයේ ගමන් වාරයේ විස්තර, පිටත් වන වේලාව, කොන්දොස්තර මහතා සම්බන්ධ කළ හැකි දුරකථන අංකයක් මෙන්ම කිසියම් අවස්ථාවක බස් රථයක් කිසියම් හෝ හේතුවක් මත ධාවනය නොවන්නේ නම් ‍හෝ නියමිත බස් රථය වෙනුවට වෙනත් බසයක් යොදන්නේ නම් ඒ සම්බන්ධ විස්තරද SMS මඟින් මෙන්ම 1315 කෙටි දුරකථන සේවාව ඔස්සේද මගීන්ව දැනුවත් කරනු ලැබේ.

ඊට අමතරව, අවලංගු වන ගමන් වාර වෙනුවෙන් මුදල් ආපසු ගෙවිය යුතු අවස්ථාවලදී පවතින ප්‍රමාදවීම් නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මහජන බැංකුව සමඟින් එක්ව අදාළ කාඩ්පත් අංකයටම නැවත ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සැකසුම් ආරම්භ කර ඇත. (ඔන්ලයින් ආසන වෙන් කිරීමේදී ටිකට් පතට අදාළ මුදල් ඍජුවම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහජන බැංකුවේ ගිණුමට බැර වන අතර, එම ගිණුම හරහාම නැවත ගෙවීම සඳහා) මෙම කාර්යය සැප්තැම්බර් මස පළමුවැනි දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks