පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1065/2025
ගරු අශෝක ගුණසේන මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) දඹදෙණිය, අලව්ව, හුම්බුළුව ග්‍රාමයේ ඉඩම් ගැටලුවක් පවතින බව දන්නේද;
(ii) 1911 වර්ෂයේ මැනුම අනුව සකස් කරන ලද අංක 455 දරන හුම්බුළුව ගම් පිඹුර බලාත්මකද;
(iii) 1910 වර්ෂයේ සිට ඉහත ග්‍රාමයට අයත්වූ ඉඩම්, පුද්ගලික පාරම්පරික ඉඩම් ලෙස ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇති බව දන්නේද;
(iv) අංක 2621 දරන සන්නස ලියාපදිංචි කර තිබේද;
(v) එසේ නම්, එම සන්නස ලියාපදිංචි කරන ලද දිනය සහ අදාළ භූමි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) හුම්බුළුව විහාරය, 2013 අංක 34 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනතේ 4(1) වගන්තිය යටතට පත්වූ දිනය කවරේද;
(vii) හුම්බුළුව ග්‍රාමයේ ජනතාව විසින් පාරම්පරිකව භුක්ති විඳිනු ලැබූ සින්නක්කර ඉඩම්වලට හිමිකම් පෑම, 2017 වර්ෂයෙන් පසුව අහිමි කිරීමට හේතු කවරේද;
(viii) ඒ සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුම්වත් නොකිරීමට හේතු කවරේද;
(ix) මෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ‘ජනතා පරමාධිපත්‍ය බලය’ උල්ලංඝනයවී ඇති බව පිළිගන්නේද;
(x) ඉහත ගැටලුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-07
අසන ලද්දේ
ගරු අශෝක ගුණසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ Additional Assistant Settlement Officer ජෝන් ස්ටිල් විසින් වර්ෂ 1910 ජනවාරි 06 දිනැතිව ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ වාර්තාව මඟින් අංක B.S.P.P 455 දරන පිඹුරට අදාළ වන හුම්බුළුව ග්‍රාමයට අදාළව නිරවුල් කිරීම ප්‍රකාශයට පත් කර ඇත. එමඟින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් 18වන සියවසේදී ප්‍රදානය කරන ලද සන්නසට අනුව හුම්බුළුව සම්පූර්ණ ග්‍රාමය හුම්බුළුව විහාරයේ දේපළක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
(iv) ලියාපදිංචි කර ඇත. එය 1866 අංක 06 දරන AN ORDINANCE TO COMPEL THE REGISTRATION OF “SANNASAES”, OLD DEEDS AND OTHER INSTRUMENTS OF TITLE යටතේ ලියාපදිංචි කර ඇත.
(v) 1893 මැයි 02වන දින කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කර ඇත. භූමි ප්‍රමාණය සැටයාල සොළොස් අමුණක් - අක්කර 832ක් - පමණ වේ.
(vi) 2013.12.30 දින අමාත්‍යතුමාගේ අනුමැතියෙන් 2014.01.17 දින ගැසට් පත්‍රය මඟින් ගැසට් කර ඇත.
(vii) හුම්බුළුව රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ විසින් විහාරස්ථානයේ ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අංක 7913/ඉඩම් දරන නඩු තීන්දුවට අනුව හුම්බුළුව ගමෙහි සංජීව බණ්ඩාර ආඳාගල, ප්‍රියංගනී ආඳාගල කෙහෙල්වල, අමිත බණ්ඩාර ආඳාගල යන අය භුක්ති විඳින ඉඩම් කොටස් හුම්බුළුව රජමහා විහාරයට අයත් ඉඩම් ලෙස තීන්දුවක් ලබා දී ඇත. එමෙන්ම එම නඩුවෙහි, තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවෙහි විත්තිකරුවන් විසින් කුරුණෑගල සිවිල් අභියාචනාධිකරණයේ අංක NWP/HCCA/KUR යටතේ 85/2022/F හා NWP/HCCA/KUR 86/2022/F දරන නඩුකර පවරා ඇත.
ගරු හුම්බුළුව ගම්වාසීන් විසින් මෙම විහාරස්ථානයේ ඉඩකථානායකතුමනි, දෙපැත්තෙන්ම නඩුකර පැවරිලා තිබෙන්නේ.
එමෙන්ම හිමිකම් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ CAW/628/2024 දරන නඩු අංකය යටතේ නඩුකරයක් පවත්වා ගෙන යනු ලබයි. මෙම අධිකරණ ක්‍රියාමාර්ග හා නඩු තීන්දු මත මේ වනවිට හුම්බුළුව ග්‍රාමයේ ජනතාව අතර ඉඩම් හිමිකම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟී ඇත. මෙතැන තමයි වැදගත්ම තොරතුර තිබෙන්නේ.
(viii) ගම්වැසියන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කරලා තිබෙනවා.
(ix) නැත.
(x) මේ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ අංක MBRCA/01/01/39 හා 2023.06.09 දිනැති ලිපිය මඟින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවද සැදුම්ලත් පරිදි කමිටුවක් පත් කරලා තිබෙනවා. එම කමිටුව මඟින් වර්තමානයේ මහනුවර අස්ගිරි විහාරස්ථානයේ තැන්පත් කර ඇති තඹ සන්නස නිරීක්ෂණය කර ඇති අතර, දැනට ගැටලු සහගතව ඇති හුම්බුළුව විහාරස්ථානයට අදාළ සන්නස පිළිබඳව පුරාවිද්‍යා අගය තහවුරු කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් වාර්තාවක් ලබා දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ගරු අධිකරණවල පවතින අධිකරණ කටයුතු මඟින් අයිතිය සනාථ කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු කිරීම සුදුසු බවට සඳහන් කර ප්‍රාදේශීය ලේකම්, අලව්ව වෙත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් 2023.10.17 දිනැති ලිපියෙන් දැනුම් දීලා තිබෙනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks