පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වද සිදුවීම් හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව එක් එක් විශ්වවිද්‍යාලය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම සිදුවීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පත් කරන ලද කමිටු සංඛ්‍යාව කොපමණද;
(iii) එම කමිටු වාර්තාවලට අනුව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iv) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අමානුෂික නවක වදය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වද සිදුවීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත වාර්තා වූ පැමිණිලි අනුව,
මිය ගිය සංඛ්‍යාව - 01
තුවාල සිදුවීම් -
• පහරදීම් ඇතුළත් සිදුවීම් - 106
• එම සිදුවීම්වලට අදාළ පැමිණිලි සංඛ්‍යාව - 141
• තුවාල සිදු වූ බවට වාර්තා වූ බරපතළ ගණයේ පැමිණිලි සංඛ්‍යාව - 93
විස්තර ඇමුණුම 01 මඟින් දක්වා ඇත.
(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල මට්ටමින් පත් කළ කමිටු සංඛ්‍යාව 28කි.
විස්තර ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
(iii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල
• වාචික අවවාද කිරීම - අවස්ථා 01
• අවවාදාත්මක ලිපි නිකුත් කිරීම - අවස්ථා 04
• ශ්‍රී ලංකා පොලීසියට යොමු කිරීම - අවස්ථා 03
• ශිෂ්‍යභාවය අත්හිටුවීම
• මාස 06ක් සඳහා - අවස්ථා 01
• අවුරුදු 01ක් සඳහා - අවස්ථා 02
• අවුරුදු 01යි මාස 06ක් සඳහා - අවස්ථා 02
• අවුරුදු 02ක් සඳහා - අවස්ථා 06
• අවුරුදු 03ක් සඳහා - අවස්ථා 02
• විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීම් - අවස්ථා 01
විස්තර ඇමුණුම 03 මඟින් දක්වා ඇත.
(iv) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග
උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තිබෙනවා. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ 2025.06.04වැනි දා නවක වදය සහ සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් අපි පත් කළා. මොකද, අපට නිරීක්ෂණය වුණා, ඇත්තවශයෙන්ම නවක වදය විතරක් නොවෙයි වෙනත් විධියේ හිංසනත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන බව. ඒ සියල්ලටම මැදිහත් වන විධියට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න, guidelines නිකුත් කරන්න අපි කාර්ය සාධක බලකාය පත් කරලා තිබෙනවා. ඒ කාර්ය සාධක බලකාය මේ වනකොටත් වැඩ කරමින් අපට උපදෙස් දෙමින් සිටිනවා. ගරු කථානායකතුමනි, ඒක UGC එක යටතේ තිබෙන විශ්වවිද්‍යාලවලට විතරක් නොවෙයි, සියලුම උසස් අධ්‍යාපන ආයතන සඳහා පත් කරපු කාර්ය සාධක බලකායක්. ඒක වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, වෙනත් diplomas and higher diplomas ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයකුත් නියෝජනය වන පරිදි හදපු කාර්ය සාධක බලකායක්.
ඊට අමතරව, 2016 අවුරුද්දේ ආරම්භ වුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී - පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය විසින් නවක වදය වැළැක්වීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
1. නවක වදය වැළැක්වීම සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
Ø 2010.01.15 දිනැති චක්‍රලේඛ අංක 919
Ø 2011.02.10 දිනැති චක්‍රලේඛ අංක 946
Ø 2019.11.22 දිනැති චක්‍රලේඛ අංක 12/2019
Ø 2020.08.10 දිනැති චක්‍රලේඛ අංක 04/2020
Ø 2022.10.04 දිනැති චක්‍රලේඛ අංක 14/2022
Ø 2023.03.01 දිනැති චක්‍රලේඛ අංක 02/2023
Ø 2025.02.24 දිනැති චක්‍රලේඛ අංක 01/2025
Ø 2025.07.09 දිනැති චක්‍රලේඛ අංක 06/2025
Ø 2025.09.19 දිනැති චක්‍රලේඛ අංක 07/2025
Ø 2026.02.06 දිනැති චක්‍රලේඛ අංක 02/2026
2. ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ ස්ථාවර කමිටුව පිහිටුවා එහි විධාන ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ලෙස ස්ත්‍රී-පුුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය පිහිටුවීම. නවක වදයට අදාළ සියලු පැමිණිලි, දැනුවත් කිරීම් සහ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම මෙම කේන්ද්‍රය හරහා 2016 වර්ෂයේ සිට සිදු කෙරේ.
3. නවක වද සිදුවීම්වලට අදාළ පැමිණිලි භාර ගැනීමට පැමිණිලි ද්වාරයක් සහ පැමිණිලි හැසිරවීමේ යන්ත්‍රණයක් 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පවතී. ඒ යටතේ,
a) කාර්යාල වේලාවන් තුළ (පෙර වරු 8.30 - පස් වරු 4.30 දක්වා) ක්‍රියාත්මක වන විශේෂ දුරකථන සහාය සේවාව.
b) නවක වදය හා ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය (SGBV) සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මාර්ගගත පැමිණිලි පද්ධතියක් පවත්වාගෙන යාම.
c) ලිපි, විද්‍යුත් තැපෑල, දුරකථන, වට්ස්ඇප් - WhatsApp - හෝ වෙනත් ක්‍රම මඟින් ලැබෙන සියලු පැමිණිලි CGEE විසින් පැමිණිලි පද්ධතියේ ලියාපදිංචි කරනු ලැබේ.
d) මෙසේ ලැබෙන සියලුම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ විශ්වවිද්‍යාලය වෙත යොමු කරනු ලැබේ.
e) විශ්වවිද්‍යාල වෙත යොමු කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් පසු විපරම් කිරීම සහ අදාළ පැමිණිලි පිළිබඳව ස්ථාවර කමිටු රැස්වීම්වලදී පසු විපරම් කිරීමට ස්ථාවර කමිටු සාමාජිකයන් හරහා තොරතුරු රැස් කිරීම සිදු කරනු ලැබේ.
4. නවක වදයේ වින්දිතයන් වෙනුවෙන් සහායක යන්ත්‍රණයක් ගොඩනැඟීමට අවශ්‍ය කටයුතුත් දැන් සකස් කරමින් යනවා.
Ø ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රය (CGEE/UGC) විසින් නවක වදයේ වින්දිතයන්ට සහායක යන්ත්‍රණයක් ගොඩනැඟීමට අදාළ මූලික කටයුතු දැන් අවසන් කර තිබෙනවා.
Ø වින්දිතයන් සඳහා සහන සැපයීමේ මූලික ක්‍රියාවලියට අදාළව චක්‍රලේඛ කිහිපයක් නිකුත් කරලා තිබෙනවා. මේ අතර ප්‍රධාන වන්නේ හැකි සෑම අවස්ථාවකදීම ප්‍රථම වසර සිසුන් සඳහා වෙන් වූ නේවාසිකාගාර ලබා දීමට උපදෙස් ලබා දුන් 01/2025 චක්‍රලේඛයයි. ඒක විශේෂයි.
Ø නඩු අංක SC FR 216/2020හි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වින්දිතයන්ට සහාය දීම සඳහා වන කමිටු විශ්වවිද්‍යාලවල පිහිටුවා ඇති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහිද මධ්‍යගත කමිටුව පිහිටුවා තිබෙනවා.
Ø නවක වදයට පාදක වන පුළුල් සමාජයීය සාධක පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රජාවට අවබෝධයක් ලබා දීම සඳහා විවිධත්වය සමඟ ජීවත් වීම - Learning to Live with Diversity - යනුවෙන් පාඨමාලාවක් හඳුන්වා දී ඇත. නවක වදය පවත්වාගෙන යාමට බලපාන විවිධ සමාජයීය කරුණු ශිෂ්‍ය-කේන්ද්‍රීය ආකාරයට සාකච්ඡා කරන මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීම සම්පූර්ණ කර ඇති අතර, ඇතැම් විශ්වවිද්‍යාලවල මෙම පාඨමාලාව දැනටමත් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට හඳුන්වා දී ඇත. කොමිෂන් සභා චක්‍රලේඛ අංක 06/2025 මඟින් "විවිධත්වය සමඟ ජීවත් වීමට ඉගෙනීම" යන පාඨමාලාව විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන්ගේ නම්නීකරණ වැඩසටහන්වලට ඇතුළත් කිරීමට අදාළ උපදෙස් පිළිබඳ චක්‍රලේඛය 2025.07.09වන දින නිකුත් කර ඇත.
5. මීට අමතරව විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක සයිබර් අවකාශයේ හිංසනය සහ සිසුන්ගේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සම්බන්ධයෙන් "ELEVATE" නම් කෙටි චිත්‍රපට වැඩසටහන ඇසුරින් අවශ්‍ය මූලික දෘශ්‍ය මාධ්‍ය සම්පත් ගොඩනඟා ඇත. මෙම කෙටි චිත්‍රපට විශ්වවිද්‍යාල නම්නීකරණ පාඨමාලා සඳහා යොදා ගැනේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව - නඩු අංක SC FR 216/2020ට අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග
Ø විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සියලුම විද්‍යාර්ථීන්ට නවක වදයට අදාළ නීතිමය සහ මනෝසමාජයීය බලපෑම ඇතුළු දැනුවත් කිරීම්වලට අවශ්‍ය මූලික පාඨමාලාවක් සකස් කිරීම. මීට අදාළ පාඨමාලාව දැනට සකස් කර අදාළ අනුමැතීන් ලබා ගනිමින් පවතී.
Ø ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයට අනුබද්ධව මධ්‍යම වින්දිත සහාය කමිටුවක් - Central Victim Support Committee - ස්ථාපිත කිරීම.
Ø විශ්වවිද්‍යාලවල වින්දිත සහායක කමිටු ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ද අදාළ විශ්වවිද්‍යාල කමිටු සඳහා සාමාජිකයන් නිර්දේශ කිරීම. දැනට මෙම කමිටුවල ආයතනික බලය සහ වගකීමට අදාළ ක්‍රියා පටිපාටිය සකස් කෙරෙමින් පවතී. නවක වදයේ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය නීති සහාය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා, වෛද්‍ය පහසුකම්, පොලීසියේ සහාය සහ වෙනත් අදාළ ආයතනවල සම්බන්ධීකරණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් සංචිතයක් ගොඩනැඟීම මේ වනවිට සිදු වෙමින් පවතී.
Ø නවක වදය පිළිබඳව දැනුවත් කිරීමට සහ ආකල්ප වෙනස් කිරීමට අදාළව කලා හා මානව ශාස්ත්‍රමය මැදිහත්වීම් සඳහා වැඩසටහනක් සංවර්ධනය කිරීම වෙනුවෙන් බහු ආංශික මණ්ඩලයට සාමාජිකයන් පත් කරන ලදී.
Ø 2025 සැප්තැම්බර් 03 දින පැවති කොමිෂන් සභාවේ 1154වන රැස්වීමේදී, විශ්වවිද්‍යාල අරමුදලේ උපශීර්ෂයක් ලෙස වින්දිත සහාය අරමුදල පිහිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව, 2025 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි මානව ප්‍රාග්ධන සංවර්ධන ප්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 20ක් වෙන් කර ඇත. මෙම අරමුදලට ඉදිරි වසර 5 සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 6 බැගින් වෙන් කිරීමට යෝජිතය.
Ø 2025 සැප්තැම්බර් 17 දින පැවති 1155 වන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කළ පරිදි 2025 සැප්තැම්බර් 19 දිනැති කොමිෂන් සභා චක්‍රලේඛ අංක 07/2025 (SC FR 216/2020 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම) නිකුත් කිරීම අනුමත කරන ලදී.
Ø 2025 ඔක්තෝබර් 28 දින සියලුම විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරින්ගේ සංගමය සමඟ රැස්වීමකදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට අදාළ දැනුවත් කිරීම් සිදු කිරීම.
Ø විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර නවක වදය සම්බන්ධ පැමිණිලිවලට ප්‍රතිචාර දැක්වීම ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව විශ්වවිද්‍යාල සහ අදාළ පොලිස් ස්ථාන අතර සම්බන්ධය ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේ නිලධාරින් පත් කිරීම.
Ø SC (FR) 216/2020 නියෝග දැඩිව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවටම දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ ස්ථාවර කමිටුවට සහ සමාජ සංහිඳියාව පිළිබඳ ස්ථාවර කමිටුවට අයත්සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් රවීන්ද්‍ර පතිරණගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් එම දැනුවත් කිරීම් සිදුකොට ඇත.
6. ඇතැම් විශ්වවිද්‍යාලවල නවක සිසුන්ගේ නම්නීකරණ වැඩසටහන්වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරිය සහ ඇතැම් අවස්ථාවලදී කොමිෂන් සභා සාමාජිකයන් පවා සහභාගී වෙමින් නවක සිසුන් දැනුවත් කිරීම.
7. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඩී.ජී.සී.සී.ඩී. දයානන්ද සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය විසින් පැවැත් වූ මූලික පරීක්ෂණයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සාමාජිකයන් නිර්දේශ කිරීම සහ ඒ යටතේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරිය අදාළ පරීක්ෂණ කමිටුවට සාමාජිකයෙකු වශයෙන් පත් වීම.
8. විවිධ නවක වද සිද්ධීන් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පාලක සභා සාමාජිකයෙකු -විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ සාමාජිකයන් අතුරින්- විශේෂ නියෝජිතයෙකු ලෙස පත් කිරීම. සමහර පැමිණිලි පිළිබඳව Council Membersලාගේ මැදිහත් වීම පිළිබඳ පසු විපරම් කිරීමටත් කොමිෂන් සභාව මැදිහත් වෙලා තිබෙනවා.
9. විවිධ නවක වද සිද්ධීන් සහ අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල පාලක සභාවලට පත් කරන ලද සාමාජිකයන් දැනුවත් කිරීම. මේ යටතේ දැනට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයන් -විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ සාමාජිකයන් අතුරින්- සමඟද රැස්වීම් පවත්වන ලදී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks