E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1021/2026: සංවර්ධන නිලධාරින් සහ කළමනාකරණ සේවා නිලධාරින් : රැකියා කාර්යභාරයන්හි වෙනස

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  (1)

(අ)        (i)       සංවර්ධන නිලධාරින් සහ කළමනාකරණ සේවා නිලධාරින් අතර රැකියා භූමිකාවන්හි ප්‍රායෝගික තත්ත්වය තුළ පිළිගත් වෙනස්කම් තිබේද;

(ii) එසේ නම්, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු තුළ එවැනි වෙනස්කම් ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ව්‍යුහගත විභාග සහ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල තනතුරු සඳහා සුදුසුකම් ලබන්නේ කළමනාකරණ සේවා නිලධාරින් පමණක්ද;

(ii) එසේ නම්, සංවර්ධන නිලධාරින් සඳහා ඒ හා සමාන යාන්ත්‍රණයක් හඳුන්වා නොදීමට හේතු කවරේද; 

(iii) කළමනාකරණ සේවා නිලධාරින් හා සමානව සංවර්ධන නිලධාරින් සඳහා ද විදේශ රැකියා අවස්ථා ඇතුළුව සමාන වෘත්තීය සංවර්ධන අවස්ථා සහතික කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සංවර්ධන නිලධාරින් ආශ්‍රිත සේවා නිලධාරි ගණයට අයත් ක්ෂේත්‍රගත නිලධාරින් පිරිසක් වන අතර, කළමනාකාරණ සේවා නිලධාරින් කාර්යාලගත නිලධාරි පිරිසට අයත් වේ.

                        සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන යෝජනා ක්‍රමයන්හි අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීමේ කාර්යයන්හිදී විධායක මට්ටම්වල කාර්යභාරයට උපස්ථම්භක වන්නා වූ විමර්ශන, තොරතුරු හා දත්ත රැස් කිරීම / විශ්ලේෂණය / වාර්තා සම්පාදනය, සමීක්ෂණ වැනි කාර්යයන්ගෙන් සමන්විත වූ කාර්ය භාරයක් මෙම තනතුරු දරන්නන්ට පැවරේ.

කළමනාකරණ සේවා ව්‍යවස්ථාවේ පරිදි ආයතනයන්හි විධායක, කළමනාකරණ හා පරිපාලන යන මට්ටම්වල නියුතු වූවන්ගේ කාර්යයන්ට උපස්ථම්භක හා / හෝ පහසුකාරක කර්තව්‍යයන් අතුරින් තාක්ෂණික ‍ස්වරූපයේ නොවන්නා වූද, බහුකාර්ය (multifunctional) ස්වරූපයේ වූද, තාක්ෂණික නිපුණතා හැර වෙනත් විශේෂිත නිපුණතාවන් අවශ්‍ය වන්නා වූද, කාර්යයන් මෙම සේවයට අයත් නිලධරයන්ට පැවරේ. මෙම සේවයේ කාර්යයන් අතුරින් සුවිශේෂීකොට දක්වනු ලබන කාර්යයන් මෙම සේවයට අයත් නිලධරයන් ඉටු කරනු ලැබිය යුතුය.

(ii) එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරින්ට රැකියා ලැයිස්තු නිකුත් කරනු ලබන්නේ එම අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනන්‍ය වන පරිදි අදාළ ආයතන ප්‍රධානීන් විසින් වේ. එම රැකියා ලැයිස්තු නිලධාරියා අයත් වන සේවා ව්‍යවස්ථාව අනුව සැකසීම සිදු කළ යුතුය.

(ආ) (i) කළමනාකරණ සේවා නිලධාරින් විදේශ දූත මණ්ඩලවල තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් වන අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එම බඳවා ගැනීම් සඳහා මැදිහත් වීමක් සිදු කරනු නොලබයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරාගනු ලබන කළමනාකරණ සේවා නිලධාරින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරු කිරීම පමණක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලැබේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නො‍වේ.

(ඇ) අදාළ නො‍වේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks