E   |     |  

 දිනය: 2026-07-22   පිළිතුර ලබා දී ඇත 

1020/2026: සංවර්ධන නිලධාරින් සහ කළමනාකරණ සේවා නිලධාරින්: වගකීම් සහ රාජකාරි

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      සංවර්ධන නිලධාරින් සඳහා අනුමත සේවා ව්‍යවස්ථා නොමැතිකම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලබන පියවර කවරේද;

(ii) උපාධි සුදුසුකම් සහිතව සේවයට ඇතුළත්වූ සංවර්ධන නිලධාරින්ට              (MN 4) පවරා ඇති මූලික කාර්යභාරය සහ වගකීම් කවරේද;

(iii) උසස් පෙළ සුදුසුකම් සහිතව සේවයට ඇතුළත්වූ කළමනාකරණ සේවා නිලධාරින්ට (MN 3) පවරා ඇති නිශ්චිත රාජකාරි කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-22

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      සේවා ව්‍යවස්ථාවක් පවතී. 2011.08.01 දින සිට ක්‍රියාත්මක වන එම සංවර්ධන නිලධාරි සේවයට අදාළ සේවා ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1745/11 හා 2012.02.14 දිනැති ගැසට් පත්‍රය මඟින් ප්‍රසිද්ධ කරන ලද අතර, එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1774/31 හා 2012.09.07 දිනැති ගැසට් පත්‍රය මඟින් සංශෝධනය කර ඇත.

              (ii)      සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන යෝජනා ක්‍රමයන්හි අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීමේ කාර්යයන්හිදී විධායක මට්ටම්වල කාර්යභාරයට උපස්ථම්භක වන්නාවූ විමර්ශන, තොරතුරු හා දත්ත රැස් කිරීම / විශ්ලේෂණය / වාර්තා සම්පාදනය / සමීක්ෂණ වැනි කාර්යයන්ගෙන් සමන්විත වූ කාර්යභාරයක් මෙම තනතුරු දරන්නන්ට පැවරේ.

(iii)    1840/34 හා 2013.12.11 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත කළමනාකරණ සේවා නිලධාරි සේවා ව්‍යවස්ථාවෙහි අංක 4 දරන වගන්තිය යටතේ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ කාර්යභාරය දක්වා ඇත. ඒ අනුව කළමනාකරණ සේවා නිලධාරි සේවයේ MN 2 නිලධාරින්ට පැවරෙන නිශ්චිත කාර්යභාරය / රාජකාරි පහත පරිදි වේ.

ආයතනයන්හි විධායක, කළමනාකරණ හා පරිපාලන යන මට්ටම්වල නියුතු වූවන්ගේ කාර්යයන්ට උපස්ථම්භක හා / හෝ පහසුකාරක කර්තව්‍යයන් අතුරින් තාක්ෂණික ස්වරූපයේ නොවන්නා වූ ද, බහුකාර්ය -Multifunctional - ස්වරූපයේ වූ ද, තාක්ෂණික නිපුණතා හැර වෙනත් විශේෂිත නිපුණතාවන් අවශ්‍ය වන්නා වූ ද, කාර්යයන් මෙම සේවයට අයත් නිලධරයන්ට පැවරේ. මෙම සේවයේ කාර්යයන් අතුරින් සුවිශේෂී කොට දක්වනු ලබන කාර්යයන් මෙම සේවයට අයත් නිලධරයන් ඉටු කරනු ලැබිය යුතුය.

කළමනාකරණ සේවා නිලධාරි සේවා ව්‍යවස්ථාවෙහි 5 වගන්තිය මගින් ප්‍රකාශිත පරිදි කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III, II සහ I ශ්‍රේණි සඳහා වැටුප් කේත අංකය "MN-02-2026-A" වන හෙයින් මෙම ප්‍රශ්න අංක: 1020/2025 හි (අ) (iii) කොටසෙහි සඳහන් MN 3 යන්න නිවැරදි නොවේ.

(ආ)   අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks