01

E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

1008/2025: සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සහ වෛරී ප්‍රකාශ පැතිරවීම: අධීක්ෂණය සහ පාලනය

1008/2025

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       සමාජ මාධ්‍ය වේදිකා හරහා වැරදි තොරතුරු සහ වෛරී කතා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හෝ කෝලාහල ඇති කරන අන්තර්ගතයන්‍ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට ගෙන ඇති පියවර කවරේද;

(ii) එවැනි හානිකර අන්තර්ගතයන් බෙදා හැරීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය සමාගම්, විදුලි සංදේශ සේවා සපයන්නන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමට පියවර ගෙන තිබේද;

(iii) එසේ නම්, එලෙස ගෙන ඇති පියවරවල ස්වභාවය කවරේද;

(iv) එම පියවර ක්‍රියාත්මක කිරීම මඟින් අත්කර ගෙන ඇති ප්‍රගතිය කවරේද;

(v) මාර්ගගතව වෛරී කතා පැතිරවීම, වාර්ගික උසිගැන්වීම් සිදු කිරීම හෝ කලහකාරී ක්‍රියා සංවිධානය කිරීම අධීක්ෂණය කිරීම සඳහාම වෙන්වූ අධීක්ෂණ ඒකකයක් හෝ අන්තර්-ආයතන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේද;

(vi) වෛරී කතා සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මකව ඇති යාන්ත්‍රණ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)    (i)      ·      වෛරී කථා සම්බන්ධයෙන් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හෝ කෝලාහල ඇති කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120(6) වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම.

· අන්තර්ජාල ආවේක්ෂණ රාජකාරි සිදු කිරීම, සමාජ මාධ්‍ය ආයතන මඟින් ඊට අදාළ තොරතුරු ලබා ගැනීම හා බුද්ධි අංශ වෙත තොරතුරු ලබා ගෙන අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම.

· 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තිබෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ඉහත අමාත්‍යාංශ තුන සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, නීති කෙටුම්පත් සම්පාදක, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන කමිටුවක් මඟින් සුදුසු සංශෝධන කිරීමට නිර්දේශ ලබා ගැනීම සිදු කිරීමට අනුමැතිය හිමි වෙලා තිබෙනවා. මේ වන විට මහජන අදහස් විමසීමට ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් පළ කරලා තිබෙනවා.

(ii) ඔව්.

(iii) · අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සහ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය මේ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබනවා.

· අදාළ සමාජ මාධ්‍ය සමාගම් මඟින් තොරතුරු ඉල්ලුම් කිරීම හා අවශ්‍ය කරන අනෙකුත් ආයතන මඟින් තොරතුරු ඉල්ලීම් කිරීම සිදු කරනු ලබනවා.

· එවැනි හානිකර අන්තර්ගතයන් බෙදා හැරීම වැළැක්වීම සඳහා මෙටා, ටික්ටොක්, ටෙලිග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම් සිදු කරනවා.

· IP ලිපින සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ග්‍රාහක තොරතුරු ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා.

(iv) · සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන වෛරී කථා පැතිරවීම, වාර්ගික උසිගැන්වීම් සිදු කිරීම හෝ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් මෙටා, ටික්ටොක්, ටෙලිග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ආයතන මඟින් තොරතුරු ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකාව සඳහා සම්බන්ධතා ද්වාරයක් - contact portal - ලබා දී ඇති අතර, එමඟින් ඉහත ආයතන දැනුවත් කර ඒ ආයතන මඟින් අදාළ පළ කිරීම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

· ත්‍රස්ත ක්‍රියාකාරකම් හා ළමා අපචාර සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

(v) නොමැත.

(vi) අපරාධ වරදක් ව්‍යුත්පන්න වන අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඒ සම්බන්ධව කටයුතු කරනු ලබනවා.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-09-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks