01

E   |     |  

 දිනය: 2025-08-06   පිළිතුර ලබා දී ඇත 

0996/2025: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව: කාර්යභාරය

----

අසන ලද දිනය

2025-08-06

අසන ලද්දේ

ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                          ගොවීන් ඇතුළු පාර්ශ්වකරුවන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් මේ වන විට අපනයන කෘෂි‍ භෝග වගාවන්හි සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල නියැළී සිටී.

              (ii)      කෘෂි නිෂ්පාදන අපනයනයට සුදුසු ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව හා අස්වනුවල ගුණාත්මය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස්, මඟ පෙන්වීම සහ ආයෝජන ආධාර ලබා දීම ඇතුළුව ව්‍යවසායකයින්ව අපනයන වෙළෙඳ පොළ හා සම්බන්ධ කරවීමට අදාළ උපදෙස් හා පුහුණු ක්‍රමවේද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරයි.

(iii) වැඩි විදේශ විනිමයක් ඉපැයීමත්, අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශ්ව කරුවන්ගේ තිරසර ආර්ථික හා සමාජයීය සංවර්ධනයත් පෙරදැරි කර ගනිමින්, පරිසරය සුරැකෙන අයුරින් අපනයන කෘෂි භෝග නිෂ්පාදනවල ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රවර්ධනයක් ඇති කිරීමට කටයුතු කිරීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වේ.

එහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් ගම්මිරිස්, කරාබු, සාදික්කා, කරඳමුංගු, කෝපි, කොකෝවා, වැනිලා, පුවක්, පැඟිරි, සේර, ගොරකා, කහ සහ ඉඟුරු ආදී කුළුබඩු භෝග, පානීය භෝග සහ උත්තේජකාරක භෝග වගා කිරීම සහ එම භෝගවලට අදාළව අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන හා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කාර්යභාරය වශයෙන් සිදු කෙරේ.

(iv) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තුළ මෙම කටයුතු සඳහා "ව්‍යාපාර උපදේශන ඒකකයක්" ස්ථාපනය කර, මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමට හා සහාය ලබා දීමට ඍජුවම දායක වේ.

ඊට සමගාමීව දිස්ත්‍රික්/පළාත් මට්ටමෙන් ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීමත්, කෘෂි භෝග අපනයනයට සම්බන්ධ වන ආයතන අතර               මනා සම්බන්ධීකරණයක් ගොඩනඟමින් ව්‍යවසායකයින්ට වඩාත් පහසුවෙන් මේ සඳහා සම්බන්ධවීමට පහසුකම් සැලසීමත් කරනු ලැබේ. එමෙන්ම විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැනි තරුණ ව්‍යවසායකයින්ට වඩාත් සමීප මාර්ග ඔස්සේ මේ පිළිබඳව දැනුම හා තොරතුරු ලබා දෙමින් අපනයනය ඔවුන් අතර ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks