පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
995/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආහාර බෝග නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බවත්;
(ii) ඒ සඳහා, ගොවීන් විසින් විශාල ශ්‍රමයක් සහ මුදලක් යෙදවිය යුතු බවත්;
(iii) එසේ වුවද, කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රමයට සහ වියදමට සරිලන සාධාරණ මිලක් නොලැබීමෙන් ගොවීන් පීඩාවට පත් වී සිටින බවත්;
(iv) කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී, පාරිභෝගිකයාටද ඉහළ මිලක් ගෙවීමට සිදුවී ඇති බවත්;
(v) ගොවියා සහ පාරිභෝගිකයා අතරමැද සිටින තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා විසින් අධික ලාභ ලබන බවත්;
(vi) ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම පීඩාවට පත් කරන ඉහත ක්‍රමය වෙනස් කළ යුතු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, ගොවියා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන තිදෙනාම ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් මේ සඳහා සකස් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-24
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
භෝග නිෂ්පාදනයේ යෙදී සිටින ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බව පිළිගනිමි.
(ii) ඔව්.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත නිෂ්පාදන වියදම් සමීක්ෂණ වාර්තාවට -2023/24 මහ- අනුව ගොවීන් විසින් ප්‍රධාන කෘෂි භෝග කිහිපයක් සඳහා නිෂ්පාදනයේදී ශ්‍රමය සඳහා හෙක්ටෙයාරයකට දරනු ලබන වියදම හා මුළු නිෂ්පාදන වියදමෙහි සාමාන්‍ය ආසන්න අගය මම කියන්නම්. මොකද, දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ.
(a) වී වගාව සැලකීමේදී හෙක්ටෙයාරයකට ගොවියෙකුට සාමාන්‍යයෙන් රුපියල් 340,000ක වියදමක් යනවා. මේකෙන් සියයට 33ක්ම තිබෙන්නේ ශ්‍රමය.
(b) බඩඉරිඟු වගාව සැලකීමේදී හෙක්ටෙයාරයකට වියදම රුපියල් 325,000ක් පමණ වන අතර, මේකෙන් සියයට 34ක්ම තිබෙන්නේ ශ්‍රමය.
(c.) බී ලූනු වගාව සැලකීමේදී හෙක්ටෙයාරයකට වියදම රුපියල් ලක්ෂ 12ක් පමණ වන අතර, මේකෙන් සියයට 54ක්ම තිබෙන්නේ ශ්‍රමය.
(d.) අමු මිරිස් වගාවේ නිෂ්පාදන වියදම හෙක්ටෙයාරයකට රුපියල් 805,000ක් පමණ වන අතර, මේකෙන් සියයට 50ක්ම තිබෙන්නේ ශ්‍රමය.
(e) රතු ලූනු වගාවේ නිෂ්පාදන වියදම හෙක්ටෙයාරයක් සඳහා රුපියල් ලක්ෂ 16ක පමණ වන අතර, මේකෙන් සියයට 29ක්ම තිබෙන්නේ ශ්‍රමය.
ඒ අනුව ගොවි ජනතාව තම වගා කටයුතු සඳහා සැලකිය යුතු වියදමක් කරනවා. එම වියදම ඇතුළේ ශ්‍රමය සඳහා විශාල මුදලක් තිබෙනවා. වැඩි විස්තර ඇමුණුමෙහි සඳහන් වේ.
(iii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත නිෂ්පාදන වියදම් සමීක්ෂණ වාර්තාව -2024/2024 මහ- අනුව කෘෂි නිෂ්පාදන සඳහා හෙක්ටෙයාරයකට ශුද්ධ ලාභ ප්‍රමාණවල වැඩි විස්තර ඇමුණුමෙහි සඳහන් වනවා. මෙම නිෂ්පාදනවල වියදම උච්චාවචන වනවා. එම තත්ත්වය මත අදාළ වියදමෙහි ආසන්න අගය මම කියන්නම්.
(a) වී වගාවේදී වගාවේ ශුද්ධ ලාභය වාරි ප්‍රදේශ සඳහා හෙක්ටෙයාරයකට රුපියල් 157,000කි. එහෙත් වර්ෂා පෝෂිත කලාපවල වගා කරන ගොවීන්ගේ ලාභ පංගුව මීට වඩා අඩු වෙනවා.
(b) බඩඉරිඟු වගාව සැලකීමේදී වගාවේ ශුද්ධ ලාභය හෙක්ටෙයාරයකට රුපියල් 142,000ක් පමණ වෙනවා.
(c) බී ලූනු වගාව සැලකීමේදී වගාවේ ශුද්ධ ලාභය සාමාන්‍යයෙන් හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂ 21කි.
(d) අමු මිරිස් වගාවේ ශුද්ධ ලාභය හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂ 20කි.
(e) රතු ලූනු වගාවේ ශුද්ධ ලාභය හෙක්ටෙයාරයකට රුපියල් ලක්ෂ 10ක වාගේ ලාභ පංගුවක් ගොවි ජනතාවට ගන්න පුළුවන් වෙනවා.
මෙය නිශ්චිතම තත්ත්වය නොවෙයි. තිබෙන තත්ත්වය මත දළ වශයෙන් ගණන් බැලූ විට ලැබෙන තත්ත්වය තමයි මේ.
(iv) නැත.
මේ වන විට මිල ස්ථාවරව පවතී.
2014 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා 2013 පාදක වර්ෂය ලෙස ගනිමින් සකස් කරන ලද ආහාර සඳහා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික අගයන් අනුව පාරිභෝගිකයන්ට ආහාර සඳහා දැරීමට සිදුවන වියදම් සංසන්දනය පිළිබඳ වැඩි විස්තර ඇමුණුමෙහි සඳහන් වනවා. මෙය දීර්ඝ ඇමුණුමක්. එම නිසා ඇමුණුම සභාගත* කරනවා.
(a) ශ්‍රී ලංකාවේ පැවති උද්ධමනයත් සමඟ 2014 වර්ෂයේ සිට 2021 වර්ෂයේ පළමු කාර්තුව තෙක් සියයට 50කින් පමණ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමක් සිදුව ඇත.
(b) එහෙත් එතැන් පටන් පැවති ආර්ථික අර්බුදයත් සමඟ 2021 පළමු කාර්තුවේ සිට 2024 පළමු කාර්තුව දක්වා කාලය තුළ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් දෙගුණ වී ඇත.
(c) 2024 පළමු කාර්තුවේ සිට 2024 අවසන් කාර්තුව දක්වා ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් සියයට 6කින් පමණ අඩු වී තිබෙනවා.
(d) 2024 අවසන් මාසයේදී ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල සියයට 4කින් පමණ නැවත ඉහළ යාමක් වාර්තා වන අතර, 2025 පළමු කාර්තුව අවසන් වනතෙක් එම කාණ්ඩයේ සැලකිය යුතු මිල විචලනයක් වාර්තා වී නොමැත. ඒ අනුව ආර්ථිකය ප්‍රකෘති වීමත් සමඟ ආර්ථික අර්බුද සමයෙන් පසු පාරිභෝගික භාණ්ඩවල -විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ- සැලකිය යුතු මිල ඉහළ යාමක් වාර්තා වෙලා නැහැ.
(v) ගොවියා හා පාරිභෝගිකයා අතර සිටින පාර්ශ්වකරුවන් සංඛ්‍යාව අළෙවි ජාල අනුව වෙනස් වන අතර දැනට ලංකාවේ සාම්ප්‍රදායික වෙළෙඳ ජාල -ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළෙඳ පොළවල්, පොළ ක්‍රමය-, සුපිරි වෙළෙඳසැල්, ඍජු වෙළෙඳාම හා මාර්ගගත ආදී ක්‍රම දකින්න පුළුවන්. දැනට ගොවියාගේ නිෂ්පාදනවලින් සියයට 80ක් පමණ සාම්ප්‍රදායික වෙළෙඳ ජාල හරහා පාරිභෝගිකයා දක්වා හුවමාරු වනවා.
(vi) ඔව්, ගොවියාට ලාභදායී හා සුවපහසු ජීවන රටාවක් තිබිය යුතු බව පිළිගනිමි.
එසේ වුවත්, ගොවියාගේ ආදායම වැඩි කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගෙන තිබෙනවා. උදාහරණ වශයෙන් පොහොර සහනාධාරය ලබා දීම මඟින් භෝග ඵලදායීතාව වැඩි කිරීමට කටයුතු කිරීම, නව නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම, නව බීජ ප්‍රභේද හඳුන්වා දීම, ගුණාත්මක බීජ නිෂ්පාදනය හා වෙළෙඳ පොළේ පවතින බීජවල ගුණාත්මකභාවය, තත්ත්ව පරීක්ෂා කිරීම ආදී ක්‍රියාමාර්ග ඒ යටතේ ගනිමින් පවතිනවා.
ඒ සඳහා අඩු පාර්ශ්වකරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වන වෙළෙඳ ජාල ප්‍රවර්ධනය කිරීම කළ යුතු වෙනවා. යටිතල පහසුකම් වැඩි කිරීම, ප්‍රාදේශීය ඇසුරුම් මධ්‍යස්ථාන නිෂ්පාදන ප්‍රදේශවල ඇති කිරීම, ඉල්ලුමට සරිලන සැපයුම පමණක් වෙළෙඳ පොළ තුළ සැපයීම සිදු කිරීම, සමුපකාර ක්‍රම ශක්තිමත් කිරීම සහ අතිරික්ත නිෂ්පාදන තාවකාලිකව ගබඩා කළ හැකි ශීතාගාර ඇති කිරීම ආදී විකල්ප වෙළෙඳ ජාල ශක්තිමත් කිරීම කළ යුතු වෙනවා.
පිළිතුරු දුන් දිනය
2025-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks