01

E   |     |  

 දිනය: 2025-08-21   පිළිතුර ලබා දී ඇත 

0971/2025: දේශීය වෛද්‍ය පීඨ සහ පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචිය : විස්තර

----

අසන ලද දිනය

2025-08-21

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාල නොමැති අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 4ක දේශීය වෛද්‍ය පීඨ ආයුර්වේද/ සිද්ධ/ යුනානි යන අංශ තුන පිහිටා ඇත.

  • කොළඹ විශ්වවිද්‍යාලය - දේශීය වෛද්‍ය පීඨය                  (ආයුර්වේද/ යුනානි)
    • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය - දේශීය වෛද්‍ය පීඨය (ආයුර්වේද)
    • නැගෙනහිර විශ්වවිද්‍යාලය - ත්‍රිකුණාමලය මණ්ඩපය - සිද්ධ වෛද්‍ය පීඨය
    • යාපනය විශ්වවිද්‍යාලය - සිද්ධ වෛද්‍ය පීඨය

(ii) "යාපනය ශ්‍රී ලංකා ආයුර්වේද සිද්ධ වෛද්‍ය විද්‍යාලය" නමින් ආයුර්වේද ශාස්ත්‍රී විද්‍යාලයක් නොමැත.
1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 22වන වගන්තිය අනුව පිහිටුවා ඇති ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලයේ ලියාපදිංචි කරන ලද විද්‍යාලය වන්නේ නො.127, ස්ටැන්ලි පාර, යාපනය පිහිටි ලංකා සිද්ධායුර්වේද ආයුර්වේද ශාස්ත්‍රී විද්‍යාලයයි. ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය යටතේ ලියාපදිංචි කර තිබූ ශාස්ත්‍රී විද්‍යාල 20 එම මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017.12.31 දින සිට අත්හිටුවා ඇත. ඒ අනුව උක්ත ශාස්ත්‍රී විද්‍යාලය සඳහා ද නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවා ඇත.

(iii) 2017 වර්ෂය දක්වා බඳවාගත් සිසුන් සඳහා අවසාන වසර ලිඛිත/ වාචික/ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනු ලබයි.

(iv) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් බඳවාගන්නා ලද සංවර්ධන නිලධාරි සේවයේ නිලධාරින් 69ක් ආයතනික කටයුතු සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවලට අනුබද්ධිතව සේවයේ යොදවා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ දේශීය වෛද්‍ය අංශයට සංවර්ධන නිලධාරින් ලෙස උපාධිධාරින් බඳවාගෙන දීප ව්‍යාප්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය සඳහා අනුයුක්ත කර ඇත.

(v) උක්ත සංවර්ධන නිලධාරින් පාරම්පරික වෛද්‍යවරුන් සමඟ ඍජුව රාජකාරි කටයුතු සිදු නොකරන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංරක්ෂණ සභාවේ සම්බන්ධීකරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබේ. පාරම්පරික වෛද්‍ය නිලධාරින්ගේ ගැටලු විසඳීම සංරක්ෂණ සභා හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කරනු ලබයි.

(vi) අදාළ නොවේ.

  (vii), (viii)       2023 අංක 19 දරන පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනතෙහි 22 වන වගන්තිය අනුව පිහිටුවා ඇති ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය සඳහා දේශීය වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා අනුමැතිය ලබා දීමට නෛතික ප්‍රතිපාදන නොමැත.

(ආ)         (i)      1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 55(1) හා 55(2) වගන්ති යටතේ ලියාපදිංචි කරනු ලබන ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම, වෛද්‍ය සහතික පොත් නිකුත් කිරීම ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් සිදු කරනු ලැබේ. පනතට අනුව උපාධි ලබා දීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවට නීතිමය බලතල පැවරී නොමැත.

(ii) දෛනික පදනම මත වැටුප් ගෙවනු ලබන තනතුරු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමක් සිදු නොකරන බැවින්, පාරම්පරික වෛද්‍යවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් හා වැටුප් පරිමාණයක් හඳුන්වා දීමේ හැකියාවක් නොමැත.

(iii) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සංරක්ෂණ සභා වෙතින් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය රජයේ සහාය ලබා දීම සිදු කරනු ලබයි.

(iv) නැත.

`ඔවුන්ගෙන් රුපියල් 5,000ක් අය කර ගන්නවාද කියලා නේ අහන්නේ. රුපියල් 5,000ක් නොවෙයි අය කර ගන්නේ.

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 19 සහ 50 වගන්ති සමඟ 18 වන වගන්තියේ (ඊ) වගන්තිය යටතේ අංක 1884/36 හා 2014.10.15 දිනැති ගැසට් නිවේදනය අනුව ලියාපදිංචි සෑම වෛද්‍යවරයෙකුම ලියාපදිංචිය ලබා වසර 5කට වරක් තම ලියාපදිංචිය අලුත් කළ යුතුය. ඒ සඳහා වසර පහක් සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් අනුමත රුපියල් 6,000/-ක මුදලක් අය කරනු ලබයි.

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ අංක 21(1)(ආ) වගන්තිය ප්‍රකාරව පනතට අනුව අය කරන ගාස්තු අය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව වෙත විධිවිධාන සලසා ඇති බැවින්, ඒ අනුව මෙම ගාස්තු අය කිරීම සිදු කරනු ලැබේ.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks