01

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0954/2025: විදේශ විශ්වවිද්‍යාලවල උපාධිධාරින් සංවර්ධන නිලධාරින් ලෙස ලෙස පත් කිරීම: අවලංගු කිරීම

954/2025

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       පසුගිය රජය විසින් සංවර්ධන නිලධාරි පත්වීම් ලබා දෙන අවස්ථාවේදී විදේශීය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට ලබා දෙන ලද සංවර්ධන නිලධාරි පත්වීම් පසුව අවලංගු කර ඇති බව දන්නේද;

(ii) ඒ සඳහා බලපාන ලද නිශ්චිත හේතු කවරේද;

(iii) එහිදී අගතියට පත්වූ විදේශීය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සඳහා ලබා දෙන විසඳුම කවරේද;

(iv) කිසිදු අසාධාරණයකින් හෝ වෙනස්කමකින් තොරව සුදුසුකම් මත විදේශීය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ඉදිරියේදී රජයේ සේවයට බඳවා ගන්නේද;

(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(vi) 2020 වර්ෂයේදී සංවර්ධන නිලධාරි පත්වීම් ලබා දෙන අවස්ථාව වනවිට වයස අවුරුදු 45 සීමාව සම්පූර්ණ නොකළ, එහෙත් මේ වනවිට එකී සීමාව පසු කර ඇති පුද්ගලයන් ඇතුළුව සංවර්ධන නිලධාරි පත්වීම් අවලංගුකර ඇති පුද්ගලයන් සඳහා ලබා දෙන විසඳුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 සඳහා 2020.02.07 දින එවකට ජනාධිපති ලේකම් විසින් අයදුම්පත් කැඳවන ලදී. අනතුරුව ඒ සඳහා අයදුම් කරන ලද අයදුම්කරුවන් වෙත අභ්‍යාසලාභී උපාධිධාරි පත්වීම් ලබා දුන් නමුත් ඒ වන විට මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් එම පත්වීම් ක්‍රියාවලිය නවතා දමන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නියෝග කරන ලදී. ඒ අනුව එම පත්වීම් අවලංගු කරන ලද අතර පසුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම අයදුම්පත් නැවත සලකා බැලීමකට ලක්කර ප්‍රතික්ෂේපිත ලැයිස්තුවක් සකසන ලද අතර, එම ප්‍රතික්ෂේපිත ලැයිස්තුව ජනාධිපති ලේකම්ගේ අංක PS/OMC/01/01 හා 2020.08.14 දිනැති මෙම වැඩසටහන පිළිබඳ ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ද සමඟ මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලදී.

උක්ත ප්‍රතික්ෂේපිත ලැයිස්තුව අනුව විදේශ විශ්වවිද්‍යාලවල උපාධිධාරින්ට සංවර්ධන නිලධාරි පත්වීම් ලබා දීමට එහි ප්‍රතිපාදන නොවීය. කෙසේ වෙතත්, එම ප්‍රතික්ෂේපිත ලැයිස්තුවට ඇතුළත් නොකරන ලද විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු සංවර්ධන නිලධාරියෙකු ලෙස පත්වීම් ලබා ඇති බව පසුව අනාවරණය වූයේ නම් එම පත්වීම් අවලංගු කිරීමට සිදුවිය.

(iii) රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 යටතේ අභ්‍යාසලාභී උපාධිධාරින් බඳවා ගැනීමේදී ප්‍රතිපත්තියක් ලෙස එම අවස්ථාව දේශීය විශ්වවිද්‍යාලවල උපාධිධාරින් වෙත පමණක් ලබා දීමට කටයුතු කරන ලදී. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට නඩු කිහිපයක් විභාග වෙමින් පවතී. එම නඩු අතරින් SC/FR/16/2023 නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා වෙත මෙම අමාත්‍යාංශය විසින් යවනු ලැබූ 2021.06.14 දිනැති වාර්තාව සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලබන තීරණයකට යටත්ව ක්‍රියා කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2025.02.19 දිනැතිව තීරණය කර ඇත. එපරිදි කටයුතු කිරීමට අපේක්ෂිතය.

(iv) රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට බඳවා ගැනීමේදී දැනට පවතින ඇතැම් සේවා ව්‍යවස්ථාවල සඳහන් ප්‍රතිපාදන අනුව විදේශ විශ්වවිද්‍යාලවල උපාධිධාරින්ට රාජ්‍ය සේවයට පැමිණීමට බාධාවක් නොමැත. කෙසේ වෙතත් උපාධිධාරි අභ්‍යාසලාභින් ලෙස බඳවාගන්නා අවස්ථාව වන විට එම බඳවාගැනීම සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීමේදී දන්වා ඇති විධිවිධානවලට පරිබාහිරව ක්‍රියා කළ නොහැක.

(v) ඉහත (iv) අනුව පැන නොනඟී.

(vi) 2020 උපාධිධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ උපරිම වයස් සීමාව 2019.12.31 දිනට වයස අවුරුදු 45 ලෙස සලකන ලද අතර එම අවස්ථාවේදී වයස අවුරුදු 45 ඉක්මවා නොතිබූ අභ්‍යාසලාභින් සේවය ස්ථිර කරන අවස්ථාව වන විට - විධිමත්ව සංවර්ධන නිලධාරි සේවයට බඳවා ගන්නා දිනය වන විට - වයස අවුරුදු 45 ඉක්මවා සිටිය ද සංවර්ධන නිලධාරි සේවයට පත් කිරීමට කටයුතු කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. රුවන් සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks