E   |     |  

 දිනය: 2026-05-21   පිළිතුර ලබා දී ඇත 

0921/2026: මියගිය හෝ අතුරුදහන් වූ හමුදා නිලධාරින්ගේ වැන්දඹුවන්: විශ්‍රාම වැටුප්/මාසික දීමනා ගෙවීම

921/2025

 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      යුද්ධයෙන් මිය ගිය හමුදා සාමාජිකයන්ගේ වැන්දඹු භාර්යාවන්ට, එම හමුදා සාමාජිකයා මිය ගිය දිනයේ සිට විශ්‍රාම යාමට නියමිතව තිබූ දිනය දක්වා විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේද;

(ii) එම විශ්‍රාම දිනයෙන් පසු, එම වැන්දඹු භාර්යාවන්ට මාසික ස්ථාවර දීමනාවක් ගෙවනු ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) යුද්ධයේදී අතුරුදහන්වූ හමුදා සාමාජිකයන්ගේ වැන්දඹු භාර්යාවන්ට, එම හමුදා සාමාජිකයාගේ විශ්‍රාම දිනය එළඹීමෙන් පසු මාසික ස්ථාවර දීමනාවක් ගෙවනු ලබන්නේද;

(ii) නොඑසේ නම්, මරණ සහතිකයේ  සඳහන් ‘ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් අතුරුදහන්වීම’ යන කරුණ පදනම් කරගෙන එම දීමනාව ගෙවනු නොලබන්නේද;

(iii) එසේ නම්, එය රණවිරු වැන්දඹු භාර්යාවන්ට කරනු ලබන අසාධාරණයක් බව දන්නේද;

(iv) අතුරුදහන්ව ඇති කාලය සලකා එම රණවිරු වැන්දඹුවන්ට මාසික ස්ථාවර දීමනාව ගෙවීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැලැස්වීමේ හැකියාවක් තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-05-21

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)       ත්‍රස්තවාදී හේතු මත මිය ගිය හමුදා පුද්ගලයන්ගේ වැන්දඹු බිරිඳ/යැපෙන්නන් වෙත හමුදා පුද්ගලයා මිය ගිය දින සිට ඔහුගේ වයස අවුරුදු 55 දක්වා මාසික වැටුප් හා දීමනා හිමිගන්වනු  ලබන අතර, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප හා යැපෙන්නන්ගේ දීමනාව වැන්දඹුව වෙත හිමිගන්වනු ලබයි. තවද, මිය ගිය හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු වැන්දඹුව වෙත වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කර හිමිගන්වනු ලබන අතර, හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට ලබාගත් වැටුපේ අගය නොවෙනස්ව ස්ථාවර මාසික දීමනාවක් ලෙස ජීවිතාන්තය දක්වා හිමිගන්වනු ලබයි.

ඒ එක්කම, ත්‍රස්තවාදී හේතු මත තුවාල ලබා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගොස් ඇති අවිවාහක හමුදා පුද්ගලයන් විශ්‍රාම යෑමෙන් පසුව විවාහයකට ඇතුළත් වුවද, එම අය  මියයෑමෙන් අනතුරුව ඔහුගේ කලත්‍රයා හා දරුවන්හට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා ඇති වරප්‍රසාද, තිබෙන ප්‍රතිපත්තිය අනුව අහිමි වන නිසා, 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් සන්නද්ධ හමුදා පනත සංශෝධන ඇතුළත්ව සහ එහි නියෝග ද, 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු සන්නද්ධ හමුදා පනත  සංශෝධන ඇතුළත්ව හා එහි නියෝග ස‍ංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීමට ද අනුමැතිය ලැබී තිබෙනවා. ඒ එක්කම, 1970 අංක 18 වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය අයත් පනතට සංශෝධන ඇතුළත් නොකිරීම හේතුවෙන් විවාහක සිවිල් රජයේ නිලධාරියකුට හිමි විශ්‍රාම වැටුප එම සුදුසුකම සපුරා ඇති ත්‍රිවිධ හමුදා නිත්‍ය/ස්වේච්ඡා බලසේනා නිලධාරින්, ඒ වාගේම සෙසු නිලධාරින්ගේ යැපෙන්නන් වෙත හිමි නොවන හෙයින් ඔවුන් අගතියට පත්වන නිසා 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සන්නද්ධ හමුදා පනතටද සංශෝධන ඇතුළත්ව සහ ඒ යටතේ සාදන ලද නියෝග ද සංශෝධනය කිරීම සඳහාත් අනුමැතිය ලැබිලා තිබෙනවා.

ඊට අමතරව, විවාහක තත්ත්වයේ සිට 2009 මැයි 19 වැනි දිනට පෙර ක්‍රියාන්විත රාජකාරියේ සිටියදී වෛද්‍ය හේතූන් මත, ආබාධිතව, අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව සේවයෙන් ඉවත් වූ නිත්‍ය, ස්වේච්ඡා බලසේනා නිලධාරින්, සෙසු නිලධාරින් එම විවාහය නීත්‍යනුකූලව අවසන් කර ඇත්නම්, නැවත වයස අවුරුදු 55ට පෙර නීත්‍යනුකූලව සිදු කර ගන්නා විවාහයන්ගේ ශේෂ වන කලත්‍රයා, දරුවන් වෙත වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් හිමිගැන්වීමට පවත්නා නෛතික රාමුව තුළ ප්‍රතිපාදන නොමැති හේතුවෙන්, ඒ සඳහා වැටුප් ගෙවීමට ක්‍රියාත්මක කිරීමටද මේ අලුත් පනත් සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා.

(ii) ත්‍රස්තවාදී හේතූන් මත මිය ගිය හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු වැන්දඹුව වෙත අංක MOD/01/2021 හා 2021.05.18 දිනැති ආරක්ෂක අමාත්‍යාංශ චක්‍රලේඛය ප්‍රකාරව හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට ලබා ගත් වැටුපේ අගය නොවෙනස්ව ස්ථාවර මාසික දීමනාවක් ලෙස ජීවිතාන්තය දක්වා හිමි ගන්වනු ලබයි.

(ආ) (i) යුද්ධයේදී අතුරුදහන් වූ හමුදා සාමාජිකයන් සඳහා 2010 අංක 19 දරන පුද්ගලයන්ගේ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 12 වන වගන්තිය මඟින් යම් පුද්ගලයෙක් අතුරුදහන් වී වර්ෂයකට පසු මරණ සහතිකයක් නිකුත් කිරීම සිදු කරනු ලබන බැවින්, අංක MOD/01/2021 හා 2025.05.18 දිනැති මෙම ආරක්ෂක අමාත්‍යාංශ චක්‍රලේඛය ප්‍රකාරව හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දින සිට ස්ථාවර මාසික දීමනාව හිමි ගන්වනු ලබයි.

(ii) යුද්ධයේදී අතුරුදහන් වූ හමුදා සාමාජිකයන්හට මරණ සහතිකයක් නිකුත් කර ඇත්නම්, අංක MOD/01/2021 හා 2021.05.08 දිනැති ආරක්ෂක අමාත්‍යාංශ චක්‍රලේඛය ප්‍රකාරව හමුදා පුද්ගලයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දින සිට ස්ථාවර මාසික දීමනාව හිමි ගන්වනු ලබයි.

(iii) අදාළ දීමනා හිමි ගන්වනු ලබන බැවින් කිසිදු අසාධාරණයක් සිදු නොවේ.

(iv) ඉහත (අ) (i) හි පිළිතුරෙහි සඳහන් පරිදි වේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks