පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු ඒ.එම්.එම්.එම්. රත්වත්තේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට තිබෙන පිළිතුර ටිකක් දීර්ඝ නිසා මම සාරාංශයක් ඉදිරිපත් කරන්නම්, අදාළ පිළිතුරේ කරුණු අඩංගු වන පරිදි.
ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමිය අහන්නේ මහවැලි "සී" කලාපයේ දෙහිඅත්තකණ්ඩියේ අක්කර 1,000ක ඉඩමක් බදු දීම සම්බන්ධයෙන් සහ ඒ බදු දීමේදී සිදු කර තිබෙන බදු සංශෝධනය සම්බන්ධයෙන්. ඒ අක්කර 1,000ක ඉඩම මහවැලි අධිකාරිය විසින් 1991දී සීමාසහිත ඉන්ෆොමැටික්ස් ඇග්‍රොටෙක් පුද්ගලික සමාගමට අවුරුදු 30කට බදු දෙනවා. අක්කර 1,000න් අක්කර 640ක් මුල් වටයේ දීලා පසුව ඉතිරි අක්කර 360 ක්‍රමිකව වට කිහිපයකදී තමයි තේක්ක සහ කජු වගා කිරීම සඳහා බදු දීලා තිබෙන්නේ. එම අවුරුදු 30ක බදු කාලය ඉවර වෙනවා, 1991 වර්ෂයේ. සාමාන්‍යයෙන් රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් බදු දෙද්දී දෙවැනි වතාවටත් බදු දෙනවා නම් ඉඩම නැවත තක්සේරු කරලා ඒ තක්සේරුව අනුව තමයි නව බද්දක් විධියට යන්නේ. මේක දෙවැනි වරට බදු දීමේදී බදු සංශෝධනයක් සිදු වෙලා තිබෙනවා. ඒ බදු සංශෝධනය ගැන තමයි එතුමිය ප්‍රශ්නය අහන්නේ, ගරු කථානායකතුමනි. බදු සහනය ලබා දීමේ පදනම මොකක්ද, එහෙම දෙන්න පුළුවන්ද සහ එය සංශෝධනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා එතුමිය අහනවා.
දෙවැනි වතාවේ බදු දෙද්දී තක්සේරු කරලා නව බද්දක් විධියට දෙන්නේ නැතුව ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2017/1 සහ 2017.07.04 කියන චක්‍රලේඛය අනුව සංශෝධනයක් කරලා තිබෙනවා. පළමු බදු කාලයේ අන්තිම අවුරුද්දේ ගෙවපු බද්දට සියයට 20ක් එකතු කරලා නව බද්ද දෙන්න ඕනෑ කියලා සංශෝධනයක් ගෙනැල්ලා තිබෙනවා. මේ සංශෝධනය අනුව තමයි බදු ප්‍රමාණය ගණන් හදලා තිබෙන්නේ. ඒකට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා, ඒ කැබිනට් තීරණය අනුව තමයි 2021.01.01 දින සිට ඉදිරි වසර 30කට බදු දෙන්නේ. 2021.09.27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය අනුව තමයි අවුරුදු 30කට බදු දෙන්නේ. මෙහෙම දෙන්න පුළුවන්ද කියලා එතුමිය අහනවා. රජයේ ඉඩම් ආඥාපනත යටතේ එහෙම සඳහනක් නැහැ. ඒ පනතින් බැහැර වෙලා තමයි චක්‍රලේඛයක් මඟින් මේ බදු සංශෝධන දීලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සොයා බලනවා, නීතිමය රාමුව ඇතුළේ මේක නැවත සංශෝධනය කරන්න පුළුවන්ද කියලා. මේ චක්‍රලේඛය අත්හිටුවන්න පුළුවන්ද කියලා සොයා බලා ඒ අනුව කටයුතු කරන්න අපි සූදානම්.
ගරු කථානායකතුමනි, මෙම ප්‍රශ්නයට අදාළ සවිස්තර පිළිතුර මම සභාගත* කරනවා.
(අ) (i) ඔව්.
සීමාසහිත ඉන්ෆොමැටික්ස් ඇග්‍රොටෙක් පුද්ගලික සමාගම වෙත 1991 වර්ෂයේ සිට වසර 30ක් සඳහා නිකුත් කර තිබූ බදුකර කාලසීමාව ඉකුත්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/1701/317/043 වූ සීමාසහිත ඉන්ෆොමැටික්ස් ඇග්‍රොටෙක් පුද්ගලික සමාගම වෙත ලබා දී ඇති අක්කර 1,000ක ඉඩම් කොටස දෙවන බදු කාලය සඳහා බදු ලබාදීම මැයෙන් වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ 2021.09.08 දිනැති සංදේශයට 2021.09.27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ එලඹි තීරණයට අනුව 2021.01.01 දින සිට ඉදිරි වසර 30ක් වෙනුවෙන් ඉඩම් බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. (ඇමුණුම 01**)
(ii) තවද සී/ස ඉන්ෆොමැටික්ස් ඇග්‍රොටෙක් පුද්ගලික සමාගම වෙත ලබා දී ඇති අක්කර 1,000ක ඉඩම් ප්‍රමාණය සඳහා වාර්ෂික බදු අය කිරීමේදී 2017/01 චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව පළමු බදු කාලයේ අවසන් වර්ෂයේ බදු මුදලට සියයට 20ක ප්‍රතිශතයක් එකතු කර 2021 වර්ෂයෙන් ආරම්භ වන දෙවන බදු කාලයේ පළමු වසරේ බදු මුදල ලෙස ගණනය කිරීමට උක්ත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
(ආ) (i) හැකිය.
(ii) රජයේ ඉඩම් ආඥාපනත යටතේ ඉඩම් බදු පදනමින් බැහැර කර ඇති විට බදු කාලය අවසානයේ නව බද්දක් ලෙස ලබා දිය යුතු අතර නව තක්සේරුවක් මත බදු මුදල තීරණය කෙරේ. නමුත් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2017/01 චක්‍රලේඛය හා ඊට සමගාමීව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ 2017/01 දරන චක්‍රලේඛය මඟින් වසර 30ක බදු කාලය අවසන් වන සියලුම බදුකරුවන්ට දෙවන බදු කාලයක් සඳහා මුල් බදුකරු වෙතම නැවත අදාළ ඉඩම් කොටස් වාර්ෂික බදු පදනමට ලබා දෙන අවස්ථාවේ නව තක්සේරු වාර්තාවක් ලබාගෙන වාර්ෂික බදු ගණනය කිරීම වෙනුවට පළමු වසර 30ක බදු කාලයේ අවසන් වසරේ වාර්ෂික බදු මුදලට සියයට 20ක මුදලක් එකතු කර දෙවන බදු කාලයේ ආරම්භ බදු ගණනය සඳහා ප්‍රතිපාදන සලසා ඇත.
2017/01 චක්‍රලේඛ ප්‍රතිපාදන ඇතුළත්ව අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් කරන ලද ඉල්ලීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද ලබා දී ඇති අතර ඒ අනුව බදු ගණනය කිරීම සිදු කර ඇත.
(iii) රජයේ ඉඩම් ආඥාපනත අනුව බදු කාලය දීර්ඝ කිරීම හා ලබා ගත යුතු බදු ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලිව තිබියදී ඊට පරිබාහිරව නිකුත් කර ඇති ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2017/01 හා 2017.07.04 දිනැති චක්‍රලේඛය සංශෝධනය කිරීම මඟින් එය සිදු කළ හැක.
ඉහත කී චක්‍රලේඛයට සමගාමීව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති “මහවැලි බලප්‍රදේශවල පිහිටි රජයේ ඉඩම් බැහැර කිරීමේදී බදු සහන සැලසීම” යනුවෙන් නිකුත් කර ඇති 2016.11.01 දිනැති 2016/2 හා 2017.05.05 දිනැති 2017/1 දරන චක්‍රලේඛයන්ද රජයේ ඉඩම් ආඥාපනතට අනනුකූල බැවින් ඒවාද සංශෝධනය කළ හැක.
(ඇ) ඉහත (iii) පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks