බලන්න

E   |     |  

 දිනය: 2026-03-18   පිළිතුර ලබා දී ඇත 

0841/2026: කොළඹ ජාතික කලාභවන: ප්‍රතිසංස්කරණය

841/2025

ගරු මුජිබුර් රහුමාන් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන කොළඹ, ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමන ලද දිනය කවරේද;

(ii) එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනතෙක් අවසන්වී නොමැති බව දන්නේද;

(iii) එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මේ වනවිට වැය කර ඇති මුදල කොපමණද;

(iv) එහි තැන්පත් කර තිබූ, මිල කළ නොහැකි, පෞරාණික චිත්‍ර 42ක් මේ වනවිට අස්ථානගතවී ඇති බව පිළිගන්නේද;

(v) මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

අසන ලද දිනය

2026-03-18

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2012 වර්ෂයේ සිට ජාතික කලාභවනේ ප්‍රධාන ගැලරිය, වහලය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වසා තබා ඇති අතර, නියමානුකූලව කලාභවන විවෘතව තිබී නැත. අවසාන වශයෙන් 2020 වර්ෂයේදී නැ‍ඟෙනහිර ප්‍රදර්ශන ශාලාව තුළ පමණක් චිත්‍ර තබා ඇති අතර, 2020.12.29 දිනෙන් පසු ජාතික කලාභවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇත.

(ii) ඔව්.

(iii) රුපියල් මිලියන 163.5කි.

(iv) ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාවට අනුව,

තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව - 281

කලාභවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව - 239

ඒ අනුව මෙම දෙක අතර වෙනස - 42

ගරු මන්ත්‍රීතුමනි, ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42.

(v) ඒ සම්බන්ධයෙන් පහත ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශ්වයන්ගෙන් සාක්ෂි සටහන් කර ගනිමින් පවතී. තවද, මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතුවලට අදාළව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කරන තොරතුරු කැඳවීම්වලට අනුව අවසාන වශයෙන් එම කාර්යාංශයේ අංක DCDB/CS/OUT/760/2024 සහ 2025.07.14 දිනැති ලිපියෙන් විමසන ලද කරුණු සම්බන්ධයෙන් මගේ අංක DCA/06/10/05 පොදු ගොනුව හා 2025.08.13 දිනැති ලිපිය මඟින් මම තොරතුරු ලබා දීලා තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks