පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
746/2025
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව හැර ගොස් සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතා ඇති නිලධාරින් මේ වනවිට හිඟ වීමෙන් එක් නිලධාරියෙකු විසින් ලිපි ගොනු 200-300ක් පමණ හසුරුවන බව දන්නේද;
(iii) ඒ හේතුවෙන් ඇතිවී තිබෙන ප්‍රමාදය අවම කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(iv) නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-18
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව හැරගොස් දැනට විදේශගතව සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින් සම්බන්ධ නිශ්චිත තොරතුරු මෙම දෙපාර්තමේන්තුව සතුව නොමැත. කෙසේ නමුත්, මෙම දෙපාර්තමේන්තුවේ සේවයෙන් ඉවත් වූ සමහර නිලධාරින් විදේශතව සිටින බවට කරුණු වාර්තා වේ. සෑම වසරකම නිලධාරින් අධ්‍යයන කටයුතු සඳහා සහ තාවකාලික විදේශ රැකියාවල නිරත වීම සඳහා වැටුප් රහිත නිවාඩු මත සහ යම් අවස්ථාවලදී අධ්‍යයන කටයුතු සඳහා වැටුප් සහිත නිවාඩු මත විදේශගත වේ. ඔවුන් නියමිත නිවාඩු කාලය අවසන් කිරීමෙන් පසු නිසි පරිදි සේවයට වාර්තා කර ඇති අතර, සමහර අවස්ථාවලදී ඔවුන් නැවන සේවයට වාර්තා නොකර සේවයෙන් ඉල්ලා අස් වන අවස්ථා ද ඇත. 2026 වර්ෂය වන විට නිලධාරින් 09දෙනෙකු අධ්‍යයන කටයුතු සඳහා/ රැකියාවක නියැළීම සඳහා විදේශ නිවාඩු මත විදේශගතව ඇත.
2016 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විශ්‍රාම යාම සහ සේවයෙන් ඉල්ලා අස්වීම සිදුව ඇති ආකාරය පහත දැක්වේ.
|
වර්ෂය |
ඉල්ලා අස්වීම |
විශ්‍රාම යාම |
|
2016 |
04 |
0 |
|
2017 |
05 |
01 |
|
2018 |
09 |
03 |
|
2019 |
03 |
02 |
|
2020 |
05 |
01 |
|
2021 |
02 |
04 |
|
2022 |
17 |
04 |
|
2023 |
15 |
03 |
|
2024 |
13 |
03 |
|
2025 |
06 |
02 |
|
2026 |
01 |
04 |
|
මුළු |
80 |
27 |
(ii) ගරු මන්ත්‍රීතුමනි, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තිබෙන වැඩ රාජකාරි සම්බන්ධයෙන් ඔබතුමා දන්නවා. ඒ ගැන ඔබතුමා ඉතා හොඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඒ අයට ගොඩක් වැඩ රාජකාරි තිබෙනවා. බේරුම්කරණ විනිශ්චය සභා, විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලවල පෙනී සිටීම, ඒ වාගේම චෝදනා පත්‍ර සකස් කිරීම, අපරාධ නඩු පවරන්න උපදෙස් දෙන එක යනාදි කාර්යයන් රාශියක් එම නිලධාරින් සිදු කරනවා. සාමාන්‍යයෙන් ජනාධිපති කොමිෂන් සභාවලට යනවා. ඒ සියල්ලම කරන ගමන් ඒ අය ඔබතුමා කිව්වා වාගේ ගොනු 150ක්, 200ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ, විශාල වැඩ ප්‍රමාණයක්. එක් නිලධාරියෙකු ගොනු 150ක් හෝ 250ක් කියලා තමයි තොරතුරු තිබෙන්නේ.
අනුමත කාර්ය මණ්ඩලය අනුව, මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ පුරප්පාඩු තිබෙනවා. ඒ අනුව බැලුවොත්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පුරප්පාඩු 02ක්, අතිරේක සොලිසිටර් ජනරාල් පුරප්පාඩු 03ක්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුරප්පාඩු 09ක්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පුරප්පාඩු 05ක්, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ පුරප්පාඩු 37ක්, රජයේ අධිනීතිඥ පුරප්පාඩු 78ක් සහ රාජ්‍ය නීතිඥ අංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ පුරප්පාඩු 01ක්, සහකාර රාජ්‍ය නීතිඥ පුරප්පාඩු 09ක්, කනිෂ්ඨ සහකාර රාජ්‍ය නීතිඥ පුරප්පාඩු 24ක් තිබෙනවා. ඇත්තටම මේ පුරප්පාඩු ඇති වෙලා තිබෙන්නේ, පහළ ඉන්න කට්ටියට ඉහළට promote වෙන්න විධියක් නැති නිසා. මොකද, Public Service Commission එකේ තිබෙන Scheme of Recruitment සහ promotions පිළිබඳව තිබෙන rules නිසා. ඒ සම්බන්ධයෙන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය හරහා කරුණු දක්වලා තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මේ කියන promotions ටික හදා ගන්න පුළුවන්. නමුත්, එතැන පොඩි පමාවක් වෙලා තිබෙනවා කියන එක පිළිගන්නවා.
(iii) මේ වනකොට සාකච්ඡා කර තිබෙනවා, කොන්ත්‍රාත් පදනම මත තරුණ අධිනීතිඥවරුන් 20දෙනෙකු බඳවා ගන්න. නමුත්, 20ක් ප්‍රමාණවත් නොවන නිසා එය 50ක් දක්වා වැඩි කරලා බඳවා ගන්න තමයි දැන් උත්සාහ ගන්නේ.
(iv) 2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වූ කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්තිය මත පුරප්පාඩු පුරවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, ඒ බව ඔබතුමාත් දන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්, ඒ කියන්නේ නීතිපති, සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සහ රජයේ අධිනීතිඥ තනතුරු සඳහා අනුමත කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 329ක් වනවා. එකී අනුමත කාර්ය මණ්ඩලයෙන් තනතුරු 134ක පුරප්පාඩු තිබෙනවා.
කෙසේ හෝ වේවා, මා කලින් දක්වපු කරුණු තමයි ඔබතුමාට උත්තරය හැටියට දෙන්න තිබෙන්නේ. ප්‍රශ්නය වෙලා තිබෙන්නේ මේකයි. අලුතින් recruit කර ගැනීමේ කටයුත්ත අපි ආරම්භ කරන්න ඕනෑ. ඒත් ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාත් හොඳින්ම දන්නවා, අප අලුතින් 100දෙනෙකු බඳවා ගත්තත් ඒගොල්ලන්ට සංකීර්ණ නඩු දෙන්න බැරි බව. එහෙම නම්, පහළ ඉන්න කට්ටිය promote වෙන්න ඕනෑ. ඒ කටයුත්තේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ යම් පමාවක් තිබෙන බව තමයි කියන්නේ. නමුත් එතැන මට පෙනෙනවා, ලිපි හුවමාරුවක් සිදු වන බවක්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks