01

E   |     |  

 දිනය: 2025-08-21   පිළිතුර ලබා දී ඇත 

0735/2025: විදුලි සැපයුම් ස්ථායීතාව ශක්තිමත් කිරීම: ගෙනඇති ක්‍රියාමාර්ග

----

අසන ලද දිනය

2025-08-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      විදුලි සැපයුම් ජාලයේ ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒවා කෙටි කාලීන හා දිගු කාලීන ලෙස වෙන් වෙන්ව පහතින් දක්වා ඇත.

               v       කෙටි කාලීන පියවර

1.      විදුලි පද්ධතිය තුළ ක්ෂණිකව ඇති වන අස්ථාවර අවස්ථාවන්හිදී වහල මත සවි කර ඇති සූර්ය විදුලිබල පද්ධති, ජාතික විදුලි පද්ධතිය තුළ පවත්වා ගැනීම තුළින් එහි ස්ථායීතාව පවත්වා ගැනීමට හැකි පරිදි ඒවායේ ඉන්වර්ටර් පරාමිතීන් යාවත්කාලීන කිරීම.

ඉන්වර්ටර් ආරක්ෂණ පරාමිතීන් යාවත්කාලීන කිරීමේ ප්‍රගතිය: මේ වන විට පොළොව මත ඉදිකරන ලද සූර්ය පද්ධති ද ඇතුළුව මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් ස්ථාපනයන් 31,100කට ආසන්න සංඛ්‍යාවක් යාවත්කාලීන කර ඇත.

2. තවදුරටත්, ජාලක ස්ථායීතාව පිළිබඳ ගැටලුවලට ප්‍රතිචාර වශයෙන්, වහල මත සවි කර ඇති සූර්ය විදුලිබල පද්ධති මඟින් උත්පාදිත බලශක්තිය පද්ධතියට සැපයීම පමණක් සිදු කිරීම වෙනුවට බලශක්ති උත්පාදනය, එම ස්ථානය/ පරිශ්‍රය තුළදීම පරිභෝජනය සඳහා දිරිමත් කිරීමට තාක්ෂණික සහ නියාමන පියවර හඳුන්වා දීම.

3. හැකි සෑම අවස්ථාවකදීම සමමුහුර්ත කන්ඩෙන්සර් - synchronous condenser - ආකාරයෙන් ජල හා තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම. විස්තර ඇමුණුමෙහි සටහන 3හි දක්වා ඇත.

මේ වන විට නව ලක්ෂපාන බලාගාරයෙහි ඒකක 1 හා 2, සමමුහුර්ත කන්ඩෙන්සර් මාදිලියට පරිවර්තනය කර පරීක්ෂා කර ඇත. වෙනත් යන්ත්‍රයක් පරිවර්තනය කිරීම සඳහා ඇනහිටීම් ලබා ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.

4. අධික හිරු එළිය සහිත දිවා කාලයේදී ඉරිදා වැනි ඉල්ලුම අඩු නිවාඩු දිනවලදී පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීම ඉතා දුෂ්කර බැවින්;

  • දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයට පාලනය කළ හැකි සූර්ය හා සුළං විදුලි බලාගාරවල සැපයුම ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය පරිදි පාලනය කිරීම - සීමා කිරීම - මඟින් ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යනු ලබයි.
  • පද්ධති පාලන මධ්‍යස්ථානයේ පාලනයෙන් තොර බලාගාරවල [බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍ර - embedded generators], උත්පාදනය නවතන ලෙස ඉල්ලීමක් කරනු ලබයි. පද්ධති පාලන මධ්‍යස්ථානය, කෘත්‍රිම බුද්ධිය භාවිත කර තෝරාගනු ලබන වාර සටහනකට අනුව බෙදා හැරීමේ පාලන මධ්‍යස්ථාන හරහා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන්ගේ මාර්ගයෙන් බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ කර ඇති ජනක යන්ත්‍රවල උත්පාදනය නවතන ලෙස ඉල්ලීමක් කරන අතර හිමිකරුවන් කීප දෙනෙකු හැර බොහෝ හිමිකරුවන් ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් උත්පාදනය නවත්වනු ලබයි.

5. පුනර්ජනනීය බලශක්ති බලාගාර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගන්නා අතරම ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාවට සහාය වීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති - Battery Energy Storage Systems, BESS - ඒකාබද්ධ කරගැනීම පිණිස කාල පාදක ගාස්තුවක් - time-based tariff එකක් - සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා ඇත.

6. ඉදිරියේදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත සියලුම සුළං හා සූර්ය බලාගාර පද්ධති පාලන මධ්‍යස්ථානය හරහා පාලනය කිරීමට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රියාමාර්ග ඒවායේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම - Power Purchase Agreement එක - හරහා කර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත.

7. ජාතික විදුලිබල පද්ධතිය අස්ථායී අවස්ථාවන්හීදී එය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පෙර සිට පැවති තාක්ෂණික පරාමිතීන් (උදාහරණ: භ්‍රමණ සංචිත - spinning reserves) අවශ්‍යතාව, අඩු සංඛ්‍යාත මත භාර ඉවතලීම - Under Frequency Load Shedding, UFLS - විශ්ලේෂණය කර ඒවා යාවත්කාලීන කිරීම සිදු කරමින් පවතී.

8. ලක්විජය බලාගාරය ආරක්ෂිතව නැවැත්වීමේ ක්ෂණික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.

ලක්විජය බලාගාරය ආරක්ෂිතව නැවැත්වීම සඳහා බලාගාර සතුව ප්‍රමාණවත් උපකාරක ධාරිතාවක් නොමැතිකම හේතුවෙන් බලාගාරයේ ඒකක තුනම වසා දැමීමට සිදු වූ බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, ක්ෂණික විසඳුම් ලෙස සොබාදනවි බලාගාරයෙන් කොළඹ නගර විදුලි සැපයුම ප්‍රතිස්ථාපනය කරන අතරතුර ලක්විජය බලාගාරය සඳහා උපකාරක ධාරිතාවක් - auxiliary load එකක් - සපයා ගැනීම සඳහා කටයුතු කරමින් ඇත.

ඉහත 1,2,3 සහ 7 යටතේ දක්වා ඇති ක්‍රියාමාර්ග සම්බන්ධ විස්තරාත්මක සටහන ඇමුණුමෙහි දක්වා ඇත.

 

ඇමුණුම සභාගත* කරමි.

 

v දිගුකාලීන පියවර.

 

1. පොම්ප බලාගාර - Pump Storage Power Plants - ඉදිකිරීම සඳහා ප්‍රධාන ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර, ඒවායින් වඩාත් සුදුසු ස්ථානය ලෙස මහඔය තෝරාගෙන එම ස්ථානයේ සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති අතර, සවිස්තරාත්මක ඇස්තමේන්තුවක් පිළියෙල කිරීම, අවශ්‍ය ඉඩම් වෙන් කිරීම කර ගැනීම ආදිය සඳහා කටයුතු යොදා ඇත.

2. 2026 හා 2027 වන විට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක් සහ 160ක් වන මහා පරිමාණ බැටරි බලාගාර ඉදිකිරීමට නියමිතය.

මෙගාවොට් 160 සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිත කර මෙගාවොට් 100 බලාගාරය සඳහා ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.

3. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පුරෝකථනය හා එම බලාගාර පද්ධති පාලන මධ්‍යස්ථාන හරහා පාලනය කිරීමට පුනර්ජනනීය බලශක්ති පාලන ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් භාවිත කර ටෙන්ඩර් කැඳවීමට අදාළ ටෙන්ඩර් ලේඛන සකස් කරමින් පවතී.

4. සම්ප්‍රේෂණ පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම උදෙසා ඒ සඳහා භාවිත වන විද්‍යුත් උපාංග (eg: STATCOM, synchronous condenser) එකතු කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇත.

5. පුනර්ජනනීය බලශක්තිය විශාල ලෙස විදුලි පද්ධතියට අවශෝෂණය වන විට ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම උදෙසා අවස්ථිතිය - inertia -  සහිත, වේගයෙන් ක්‍රියා කළ හැකි - flexible -  විදුලි බලාගාර ඉදිරි කාලයේ ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරමින් සිටී.

6. දූරස්ථ අධීක්ෂණය සහ හදිසි අවස්ථාවකදී විසන්ධි කිරීම පිණිස ස්මාර්ට් මීටර සඳහා අවශ්‍ය අමතර ක්‍රියාකාරිත්වයන් - additional functions - හඳුන්වා දීම.

7. නිෂ්පාදකයන්ගේ ඉන්වර්ටර් හරහා හෝ සිම් කාඩ්පත්වලින් සමන්විත මොඩම් ස්ථාපනය කිරීමෙන් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තියේ තත්‍ය කාලීන දෘශ්‍යතාව සහ පාලනය කිරීමේ හැකියාව සහතික කිරීම සඳහා බෙදාහැරීමේ පාලන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය වසර 2ක කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම කාල සීමාව අවසන් වන විට බෙදාහැරීමේ පාලන මධ්‍යස්ථාන හතරෙහිම අවශ්‍ය සියලුම ක්‍රියාකාරිත්වයන් ක්‍රියාත්මක වනු ඇත. ඊට සමගාමීව නිෂ්පාදකයාගේ ඉන්වර්ටර් වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගැනීම පිණිස කටයුතු කරමින් සිටී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks