01

E   |     |  

 දිනය: 2025-04-08   පිළිතුර ලබා දී ඇත 

0569/2025: ජනාධිපති අරමුදල: උසස් අධ්‍යාපනය සඳහා පුද්ගලයන්ට ලබා දුන් මුදල්

569/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,—  අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)        (i)      ශ්‍රී ලංකාවට නැවත පැමිණ සේවය කළ යුතුය යන දැඩි කොන්දේසිය යටතේ විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ජනාධිපති අරමුදල මඟින් මුදල් ලබාදී ඇති බව දන්නේද;

(ii) ඒ යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදල මඟින් මුදල් ලබාදී තිබේද;

(iii) එසේ නම්, එසේ මුදල් ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ දේශපාලඥයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත පුද්ගලයන් අතරින් ආචාර්ය උපාධිය අවසන් කර ශ්‍රී ලංකාවට නැවත පැමිණ ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණ නැති පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ශ්‍රී ලංකාවට නැවත පැමිණ නැති පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(vi) ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(vii) ඔවුන් වෙනුවෙන් රජය විසින් වැය කරන ලද  මුදල් අය කර ගෙන තිබේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-08

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දී ඇත.

                        පවතින තොරතුරු අනුව, පනවා තිබූ කොන්දේසි පිළිබඳව තොරතුරු නැත.

 

              (ii)      ඔව්, ලබා දී තිබෙනවා.

                        2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ජනාධිපති අරමුදලින් විදේශ ශිෂ්‍යත්ව සඳහා ලබා දුන් මුදල් සහ ඊට අදාළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත. දීර්ඝ පිළිතුරක් සහිත ඇමුණුම සභාගත* කරමි.

 

 

 

 

(iii) එසේ මුදල් ලබා දී ඇති බවට හෙළිදරව් වූ පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

 

වර්ෂය

දේශපාලනඥයාගේ නම

දරුවාගේ/ඥාතියාගේ/හිතවතාගේ නම

ශිෂ්‍යත්වයේ වටිනාකම රුපියල්

2005

සරත්චන්ද්‍ර රාජකරුණා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - ගම්පහ දිස්ත්‍රික්කය

හර්ෂණ සුපුන් රාජකරුණා මහතා

500,000.00

2006

කරුණාසේන කොඩිතුවක්කු මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - කොළඹ දිස්ත්‍රික්කය

අයි.එන්. කොඩිතුවක්කු මහත්මිය

1,200,000.00

2006

පී. රාධක්‍රිෂ්ණන් මහතා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - ජාතික ලැයිස්තුව

කේ. රාධක්‍රිෂ්ණන් මහත්මිය

803,006.00 සහ 396,994.00

2006

දේශපාලන සබඳතා

දිනේෂ් ඩී. දොඩම්ගොඩ මහතා

1,000,000.00

2006

දේශපාලන සබඳතා

කේ.කේ. පරණවිතාන මහතා

1,500,000.00

ඒ අනුව, එක් එක් වර්ෂය සඳහා වෙන් වෙන් වශයෙන් ලබා දී ඇති මුදල් පහත පරිදි වේ.

 

වර්ෂය

පුද්ගලයන් සංඛ්‍යාව

ලබා දී ඇති මුදල (රුපියල්)

2005

89

73,435,406.61

2006

102

65,019,897.00

2007

42

33,347,783.00

2008

18

11,055,250.00

2009

04

3,952,906.00

2010

03

3,400,000.00

2011

02

1,600,000.00

2012

02

3,236,238.00

2014

01

700,000.00

මේ අනුව ජනාධිපති අරමුදලේ මුදල් පොත් පරීක්ෂා කිරීමේදී ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට හා හිතවතුන්ට ජනාධිපති අරමුදල මඟින් මුදල් ලබා දී ඇති බව නිරීක්ෂණය වෙනවා. අනෙක් අයගේ තොරතුරු ඇතුළත් දීර්ඝ ලේඛනයක් තිබෙනවා, ගරු කථානායකතුමනි. එම ලේඛනය මම ඇමුණුම වශයෙන් සභාගත කළා. 

(iv) දැනට පවතින තොරතුරුවලට අනුව, නැවත පැමිණ ඇති සහ පැමිණ නැති පුද්ගලයන් පිළිබඳව තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නැහැ.

(v) මම කලින් පිළිතුරේදී සඳහන් කළා, ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු නැහැ කියලා. ඒ අනුව, විදේශ ශිෂ්‍යත්ව සඳහා ගිහිල්ලා නැවත ලංකාවට පැමිණ නැති අය  සම්බන්ධයෙන් මේ වනකොට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

     (vi) පවතින තොරතුරු අනුව එවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

    (vii) දැනට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවට නැවත නොපැමිණි පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නොමැති බැවින් ඔවුන් වෙනුවෙන් රජය විසින් දරන ලද මුදල් අයකර ගැනීම පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට තොරතුරු අනාවරණය වෙනවා.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks