පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
552/2025
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දෙන්නේද;
(ii) ඩිජිටල් හැඳුනුම්‍පත භාවිතයේ වාසි කවරේද;
(iii) එම හැඳුනුම්පත සකස් කිරීමේ ක්‍රමවේදය කවරේද;
(iv) එක් හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා වැය වන මුදල කොපමණද;
(v) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවී ඇති සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා එම හැඳුනුම්පත සකස් කිරීමට වැය වන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම සඳහා අරමුදල් සපයා ගනු ලබන ආකාරය කවරේද;
(ii) ඒ සඳහා විදේශ ණය හෝ ආධාර ලබා ගන්නේ නම්, එම ණය/ආධාර ලබා දෙන රට හෝ ආයතන කවරේද;
(iii) එම හැඳුනුම්පත සකස් කිරීමේ ක්‍රියාවලියට මුදල් ආයෝජනය කරන ආයෝජකයන්ට ලබා දෙන ප්‍රතිලාභ කවරේද;
(iv) එම ආයෝජකයන්ට පුද්ගලයන්ගේ දත්ත ලබා ගත නොහැකි බවට සහතික වන්නේද;
(v) ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන සියලුම ගිවිසුම් සභාගත කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-10
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඩිජිටල් ආර්ථික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ගරු කථානායකතුමනි, මෙම ඩිජිටල් අනන්‍යතා පද්ධතිය හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමනේ අතිශය තීරණාත්මක පියවරක්. මෙහි ප්‍රධාන වාසි කිහිපයක් පහත පරිදි වේ.
(iii) මෙම ක්‍රියාවලිය කරනු ලබන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන බහු අදියර ක්‍රියාවලියක් හරහායි. ඒකෙදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ISO සහ ICAO standardsවලට හදපු ඉහළම සුරක්ෂිතභාවයෙන් යුතු මෘදුකාංග පද්ධතියක් උපකාරී වෙනවා. ඒකෙදි දත්ත එක්රැස් කිරීම, ඒ කියන්නේ පුද්ගලයන්ගේ ජනවිකාස තොරතුරු -නම, උපන් දිනය සහ ලිපිනය- සහ ජෛවමිතික තොරතුරු - biometric data - ඇඟිලි සලකුණු, iris හෙවත් කළු ඉංගිරියාව හෝ මුහුණේ ස්වරූපය- ඩිජිටල් මාර්ගයෙන් මේ පද්ධතියට ලබා ගන්නවා. අනෙක් එක තමයි, මේකෙදි SLUDI Number කියන තනි අංකයක් උපතේ සිට මරණය දක්වාම පාවිච්චි කරන්න පුද්ගලයින්ට ලබා දෙනවා. ඒ කියන්නේ, අපේ උප්පැන්න සහතිකයට පවා ඒ SLUDI Number එක එනවා. ඒ එක්කම digital ID Number එකත් එනවා. ඒ වාගේම අනාගතයේදී අනෙකුත් සේවාවල ID එකත් මේකම කරන්න අපට අවස්ථාව ලැබෙනවා.
(iv) මේ පද්ධතියට වැය වන මුදල ගණන් බැලීමේදී, අපට ID එකක් සඳහා වන වියදම ගණන් බලන්න සිද්ධ වෙනවා. මොකද, ඉස්සෙල්ලාම අපි ස්ථාපිත කරන්නේ ඩිජිටල් යටිතල පහසුකමක්. මේ යටිතල පහසුකම ස්ථාපිත කරනකොට මෘදුකාංග, මධ්‍යස්ථ දත්ත ගබඩාව, ඒ වාගේම ජෛවමිතික දත්ත රැස් කරන උපකරණ ඇතුළු සමස්ත පද්ධතියක් මේකට උපයෝගී වනවා.
ඒ පද්ධතියට රුපියල් බිලියන 14ක වාගේ මුදලක් වැය වෙනවා. අපේ ඉන්න ජනගහනය ගත්තාම, මිලියන 17.5කට මේ digital ID එක මේ අවස්ථාවේදී ලබා දිය යුතුයි. ඒ අනුව බලනකොට ID එකකට රුපියල් 800ක වාගේ පිරිවැයක් තිබෙනවා. මීට අමතරව අලුතින් ID එකක් ලියාපදිංචි කරන කෙනෙකුට පොලිකාබනේට් digital ID කාඩ් පතක් ලබා දිය යුතුයි. ඒකට යන පුනරාවර්තන වියදම ඇතුළත් වෙන්න පුළුවන්. [බාධා කිරීමක්] පොලිකාබනේට් කාඩ්පත සම්බන්ධයෙන් දැන් ටෙන්ඩරයක් දාලා තිබෙනවා. ඒ අනුව තීරණය වෙයි, කාඩ් එකක වියදම කොපමණද කියන එක. [බාධා කිරීමක්] අතුරු ප්‍රශ්නවලදී මම ඒකට උත්තර දෙනවා.
(v) ශ්‍රී ලංකා රුපියල් බිලියන 15යි. මෙයින් රුපියල් බිලියන 10කට වැඩි ප්‍රමාණයක් ඉන්දියානු රජයෙන් ආධාරයක් විධියට අපට ලැබෙනවා.
(ආ) (i) ඉන්දීය රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන.
(ii) ඉන්දීය රජයෙන් ලැබෙන මුදල් ආධාර.
(iii) ඉන්දියාවෙන් ලැබෙන මූල්‍ය ආධාරයට කොන්දේසියක් විධියට මේ පද්ධතිය මුලින් සකස් කිරීම ඉන්දියානු සමාගමක් හරහා කරගන්න ඕනෑ. මම නැවත කියනවා, සකස් කිරීම පමණයි කියන එක. ඒ කියන්නේ, ඒක පවත්වා ගෙන යෑම නොවෙයි. පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විධියට කරන්න පුළුවන්. නමුත්, මේ පද්ධතිය සකස් කිරීම ඉන්දියානු සමාගම් හරහා කරන්න ඕනෑ කියලා ඒ ආධාරයේ කොන්දේසියක් තිබෙනවා. ඊට අමතරව කිසිම විශේෂ ප්‍රතිලාභයක් කිසිම ආයෝජකයෙකුට ලැබෙන්නේ නැහැ.
(iv) ඔව්.
මෙම පද්ධතියට රජයේ ඉහළම ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. මොකද, අපේ දත්තවල සුරක්ෂිතභාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපේ රජය පූර්ණ සහතිකය ලබා දෙනවා. මේකේ නීතිමය කාරණා පැත්තෙන් බැලුවාම දැනට තිබෙනවා, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතක්. ඒ පනත අනුව මේ දත්තවල පරම හිමිකාරිත්වය ශ්‍රී ලංකා රජයට සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හිමි වෙනවා. අපේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුව මේකේ controller සහ operator කියන දෙදෙනාම වන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ඒ නිසා කිසිම පෞද්ගලික අංශයක් හවුල් වෙන්නේ නැහැ, මේ දත්ත එක්රැස් කිරීමට සහ ඒවා process කරන එකට. මේකේ දත්ත ගබඩාව ගත්තාම, ඒ දත්ත ඉතාම සුරක්ෂිත විධියට තැන්පත් කරන ආකාරයට හදලා තිබෙනවා. මේකේදි ඉහළම ගුප්ත කේතන - encryptions - පාවිච්චි වෙනවා. AES-256, RSA-2048 වාගේ ආරක්ෂක විධිවිධාන සහ hardware based HSM encryptions මේකට ඇතුළත් වෙනවා. ඒක හින්දා මේකෙදි කිසිම විධියකින් දත්ත ආපහු එළියට ගන්න හැකියාවක් නැහැ. ඒ වාගේම, මේ දත්ත පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන් වන්නේත් ශ්‍රී ලංකා රජයෙන් අනුමත කරලා තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටින ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට විතරයි.
(v) නැත.
(ඇ) මේක ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවක්. ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවලට අනුව එක් පාර්ශ්වයකට පමණක් තීරණය කරන්න බැහැ, මේක එළියට නිරාවරණය කරන්න. මේක රජයන් දෙකක් අතර වෙන ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව තුන්වෙනි පාර්ශ්වයකට නිරාවරණය වීම හරහා ගැටලු මතු වෙන්න පුළුවන්. මොකද, එක එක රජයන් වෙනත් රජයන් එක්ක වැඩ කරනවා. ඒ නිසා ඒකපාර්ශ්විකව අපට මේ ගිවිසුම් එළියට දමන්න බැහැ. නමුත්, මේ ක්‍රියාවලියේදී වෙන සෑහෙන ගිවිසුම් එළියේ තිබෙනවා. උදාහරණයක් විධියට ගත්තොත්, මේකේ ටෙන්ඩර් එකේදී දෙන Request for Proposal - RFP- publicly දාලා තිබෙනවා. ඒ වාගේම ඒකේ දාලා තිබෙනවා, ඒ සමාගමත් එක්ක ඉදිරියේදී එළඹෙන්න ඉන්න ගිවිසුමේ draft එකක්. ඒ කරුණු එළියේ තිබෙනවා. ඒවා ඕනෑම කෙනෙකුට බලාගන්න පුළුවන්. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකව එළඹෙන ගිවිසුම් අපට එළියට දෙන්න විධියක් නැහැ.
පිළිතුරු දුන් දිනය
2025-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග වීරරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks