පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
502/2025
ගරු නන්ද බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවයක් පවතින බව පිළිගන්නේද;
(ii) එය විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
(iii) ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් සඳහා මොඩියුල අවශ්‍යතා සපුරාගත යුතු බව දන්නේද;
(iv) මොඩියුල අවශ්‍යතා සම්පුර්ණ කරගත නොහැකි වීම හේතුවෙන් උසස්වීම් අහිමි වීම, වැටුප් වර්ධක නොලැබීම හා සේවය ස්ථිර කිරීම ප්‍රමාද වීම ආදී ගැටලු පැන නැඟී ඇති බව දන්නේද;
(v) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
(vi) ඒවා විසඳන දින වකවානු කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සේවා ව්‍යවස්ථානුකූලව සීමිත හා විවෘත බඳවා ගැනීම් කාල රාමු දෙකකදී සිදු කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති බව දන්නේද;
(ii) එම ගැටලු විසඳීමට බාධාවන් තිබේද;
(iii) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් ස්ථානගත කිරීම විධිමත් කර තිබේද;
(ii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-18
අසන ලද්දේ
ගරු නන්ද බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2022.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ වැටුප් සංශෝධනය කිරීමේදී ගුරු සේවයේ වැටුප් වැඩි වීමේ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් විදුහල්පති සේවයේ වැටුප් සංශෝධනය කිරීම හේතුවෙන් අදාළ සේවාවන් දෙක අතර වැටුප් විෂමතාවක් පැන නැඟී ඇති බව වාර්තා වී තිබේ.
(ii) මෙවර අය වැයේදී සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළ අතර එක් එක් සේවාවල වැටුප් විෂමතා විසඳීම සම්බන්ධව වෙන් වෙන් වශයෙන් කටයුතු කළ යුතුව ඇති බැවින් ඉහත මතු වී ඇති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා දැනටමත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කරමින් පවතී.
(iii) ඔව්.
අංක 1885/38 හා 2014.10.23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත නව ගුරු සේවා ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය හා උපලේඛන 1 මඟින් කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් විධිවිධාන පනවා ඇති අතර, ඒ අනුව එය කලාප මට්ටමින් පවතින ගුරු සංවර්ධන මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වන මොඩියුල පුහුණු ලෙස සකස් කර ඇත.
(iv) ඔව්.
2019න් පසු රටේ පැවති කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුද හේතුවෙන් කලාප මට්ටමින් පවතින ගුරු සංවර්ධන මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වන මොඩියුල පුහුණු කිරීමේ ක්‍රමවේදයෙහි ප්‍රායෝගිකව ගැටලු මතු වීම මත නිසි පරිදි එම මොඩියුල පුහුණු පැවැත්වීමට බාධා වී ඇත.
(v) ගුරුවරුන්ගේ පාලනයෙන් බැහැර හේතූන් මත එසේ කාර්යක්ෂමතා කඩඉම් නියමිත දිනට සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් සිදුවන අගතියට පත්වීම වැළැක්වීම සඳහා වරින් වර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් කාර්යක්ෂමතා කඩඉම් සඳහා වන එම මොඩියුල සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සහන ලබා ගැනීමට කටයුතු කර ඇත. ඉන්පසු දිගින් දිගටම මෙම මොඩියුල ක්‍රමවේදය හේතුවෙන් ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාදවීම හේතුවෙන් ඒ සඳහා සුදුසු විකල්ප ක්‍රමවේදයක් සඳහා නිර්දේශ ලබා ගැනීමට 2024 වර්ෂයේදී නිලධාරින්ගෙන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර එම කමිටු නිර්දේශ අනුව දැනට පවතින මොඩියුල 20 වෙනුවට මොඩියුල 10 දක්වා අඩු කර එම මොඩියුල ආශ්‍රයෙන් විභාග ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නිර්දේශ යොමු කරන ලද අතර ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, සේවා ව්‍යවස්ථාවට සිදු කළ සංශෝධන හා එහි සංශෝධන ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය ද සකස් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඉදිරියේදී එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරනු ලබන අතර, විභාග සංවිධානය කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත.
(vi) එම කාර්යක්ෂමතා කඩඉම් සඳහා වන විභාග ක්‍රමය 2025.07.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(ආ) (i), (ii) සහ (iii)
සේවා ව්‍යවස්ථානුකූලව සීමිත හා විවෘත බඳවා ගැනීම් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය හා ගුරු අධ්‍යාපනඥ සේවය සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය
• සීමිත පදනම මත පුරප්පාඩු 442ක් සඳහා සාමාන්‍ය සේවක සංඛ්‍යාව යටතේ 20% (45)ක් බඳවා ගැනීමට අමප/23/0822/605/012-III හා 2023.05.08 දිනැතිව අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් සහ විශේෂ සේවක සංඛ්‍යාව යටතේ 100%ක් (397)ක් -ඉතිරි ප්‍රමාණය- බඳවා ගැනීමට අංක: DMS/CM/08/SLEAS හා 2024.04.19 දිනැති ලිපිය මඟින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇත.
• විවෘත පදනම මත පුරප්පාඩු 113ක් බඳවා ගැනීමට අංක: DMS/CM/08/SLEAS හා 2024.04.19 දිනැති ලිපිය මඟින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, ඉහත අනුමැතීන් පරිදි තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ සම්මුඛ පරීක්ෂණ උපලේඛන මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇත. කෙසේ වෙතත්, බඳවා ගැනීම් කාල රාමු දෙකකදී සිදු කර නොමැති අතර, තරග විභාග පැවැත්වීම හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පමණක් කාල රාමු දෙකකදී සිදු කර ඇත.
මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් වන බැවින් බඳවා ගැනීම් සිදු කරනු ලබන දින වකවානු පිළිබඳව මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැක.
ගුරු අධ්‍යාපනඥ සේවය
ගුරු අධ්‍යාපනඥ සේවයට අදාළව නම්, කාල රාමු දෙකකදී මෙම බඳවා ගැනීම්වලට අදාළ කටයුතු සිදු කිරීම සඳහා හේතු වී ඇත්තේ අවස්ථා දෙකකදී මේ සඳහා අනුමැතිය ලැබීමය.
ඒ අනුව ඉහත අනුමැතීන් පරිදි සීමිත හා විවෘත තරග විභාග (ලිඛිත විභාග) පවත්වා අවසන් කර ඇත. සීමිත පදනම මත බඳවා ගැනීම්වලට අදාළව මූලික හා යෝග්‍යතා ඇගැයීමේ සම්මුඛ පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණය පවත්වා සම්මුඛ පරීක්ෂණයන්හි ලකුණු සහිත උපලේඛන 2025.01.29 දින රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව අංක ESC/APP/SLTES/01/87/2019 හා 2024.08.22 දිනැතිව ලිපියේ නියමය පරිදි විවෘත පදනම මත බඳවා ගැනීමට අදාළව මූලික සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කර ඇත. කෙසේ වෙතත්, බඳවා ගැනීම් කාල රාමු දෙකකදී සිදු කර නොමැති අතර, තරග විභාග පැවැත්වීම හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පමණක් කාල රාමු දෙකකදී සිදු කර ඇත.
(ඇ) (i) ඉදිරියේදී බඳවා ගැනීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (සීමිත/විවෘත) නිලධාරින් ස්ථානගත කිරීම සඳහා සියලුම පළාත් සභා වෙතින් පුරප්පාඩු කැඳවීමක් මේ වන විට සිදු කරමින් පවතින අතර, පළාත් රාජ්‍ය සේවයෙන් මධ්‍යම රාජ්‍ය සේවය වෙත ස්ථාන මාරු ලබා ගැනීමට අපේක්ෂිත නිලධරයන් සම්බන්ධයෙන් ද පහත ආයතන වෙතින් තොරතුරු කැඳවා ඇත.
1. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
3. සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා
4. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය
5. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු
6. සියලුම කලාප අධ්‍යාපන කාර්යාල
7. ජාතික පාසල්
ඒ අනුව මේ වන විට දුෂ්කර සේවයේ යෙදී සිටින, මීට පෙර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගනු ලැබූ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම්වලට ප්‍රමුඛස්ථානය ලබා දී පසුව ඉහත පරිදි බඳවා ගනු ලබන නවක නිලධාරින් සේවා අවශ්‍යතාව පවතින පළාත්, ජාතික පාසල් හා දෙපාර්තමේන්තු වෙත ස්ථානගත කරනු ලැබේ.
(ii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks