01

E   |     |  

 දිනය: 2025-03-10   පිළිතුර ලබා දී ඇත 

0451/2025: ගුරු ස්ථාන මාරු සහ පුරප්පාඩු: විස්තර

451/2025

ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      විනය හේතු මත හැර රජයේ ගුරුවරුන්ගේ ස්ථාන මාරු, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව සිදු කරනු ලබන බව දන්නේද;

             (ii)      පසුගිය කාලයේදී ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නිවැරදි ලෙස ක්‍රියාත්මක නොවූ  බව දන්නේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද;

(iv) පසුගිය කාලයේදී රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශාල ලෙස දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කර ඇති බව දන්නේද;

(v) ඒවා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රායෝගික වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවයේ සහ      ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බොහෝ පුරප්පාඩු පවතින බව දන්නේද;

(ii) එසේ නම්, එම එක් එක් සේවාවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-10

අසන ලද්දේ

ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      අනිවාර්ය ගුරු ස්ථාන මාරු ප්‍රාථමික අංශවල 2017, 2019, 2020, 2022 හා 2024 වර්ෂවල ක්‍රියාත්මක කර ඇත.

            (iii)      ගුරු ස්ථාන මාරු 2024 වර්ෂයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා වර්ෂයකට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක      කළ අතර, එම අත්දැකීම් මත මෙම වසරේ සිට වාර්ෂිකව ගුරු ස්ථාන මාරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මෙම වසරේ අප්‍රේල් මාසය තුළ 2025 වර්ෂයට අදාළව ස්ථාන මාරු ආරම්භ කිරීමට නියමිතව ඇත.

(iv) ඔව්, වාර්තා වී ඇත.

(v) මීට පෙර අවස්ථාවලදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම් සිදු කර ඇති අතර, ඇතැම් අවස්ථාවල පන්ති කාමරයක් තුළ සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ද ඉක්මවා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කර ඇත.

පුරප්පාඩු නොමැති අවස්ථාවලදී අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මින් ඉදිරියේදී කටයුතු නොකරන අතර, පුරප්පාඩු පවතින විට පමණක් චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛ අවස්ථානුකූලව සංශෝධනය කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) (i) ඔව්.

(ii)

සේවය

පුරප්පාඩු සංඛ්‍යාව

අධ්‍යාපන පරිපාලන සේවය

1,334 (2025.02.28 දිනට)

අධ්‍යාපනඥ සේවය

1,310 (මේ දක්වා)

විදුහල්පති සේවය

1,610 (2024.12.31 දිනට)

 

(iii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග:

පසු ගිය වර්ෂවල රට තුළ පැවති කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදය මත රජයේ තනතුරුවලට බඳවා ගැනීම සඳහා අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු වී නැත. කෙසේ වුවද, මේ වන විට බඳවා ගැනීම්වලට අදාළව පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.

1. සීමිත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණි‍යට නිලධාරින් 442ක් බඳවා ගැනීම සඳහා තරග විභාගය 2023.09.23 වන දින පවත්වා හා සම්මුඛ පරීක්ෂණ 2024.08.21,22,24,27,29,30 සහ 2024.09.03,04,06,07 දිනවල පවත්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 2025.01.29 වන දින අදාළ ලේඛන යොමු කර ඇත.

2. විවෘත පදනම මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණි‍යට 113ක් බඳවා ගැනීමට අදාළ  තරග විභාගය 2023.07.29 දින හා සම්මුඛ පරීක්ෂණ 2024.10.23 සහ 24 දිනවල පවත්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත 2025.01.03 වන දින අදාළ ලේඛන යොමු කර ඇත.

3. ඒ අනුව ඉහත 1 හා 2 යටතේ දක්වා ඇති පුරප්පාඩු 555 (442+113) සඳහා ඉදිරි මාස 03 ඇතුළත කඩිනමින් බඳවා ගැනීම් සිදු කර තවදුරටත් සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු 779ක් පිරවීම සඳහා තරග විභාගයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග:

  • විදුහල්පති සේවයේ 2025.01.01 දින පවත්නා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කර ඒ අනුව නව තරග විභාගයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට නිලධාරින් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා 2025.01.31 දිනැතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා අනුමැතිය ලද පසු බඳවාගැනීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

අධ්‍යාපනඥ සේවයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග:

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා අනුමත සේවක සංඛ්‍යාව 2,098ක් වන අතර දැනට නිලධාරින් 788ක් සේවයේ නියුතු වේ. ඒ අනුව අද දින වන විට නිලධාරින් 1,310ක පුරප්පාඩු පවතී. රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත 2022 වර්ෂයේ බඳවාගැනීම් සමාලෝචනය කර තිබීම හේතුවෙන් එම තීරණ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ බඳවා ගැනීමටද, අදාළ වූ බැවින් පසුව නව බඳවාගැනීම් සඳහා අනුමැතිය ලද විගස සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබීය.
  • ඒ අනුව විවෘත පදනම මත නිලධාරින් 384ක් හා සීමිත පදනම මත නිලධාරින් 706දෙනෙකු ඇතුළුව නිලධාරින් 1,090ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා (එකී පුරප්පාඩු 2019.08.06 දිනට ගණනය කර ඇත) අදාළ තරග විභාග 2021 වර්ෂයේදී පවත්වා විභාගයේ ප්‍රතිඵල 2022 වර්ෂයේ නිකුත් කර ඇත. නමුත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් මෙම කාලය තුළ නතර කර තිබූ අතර නැවත බඳවා ගැනීම් 2024 වර්ෂයේදී ආරම්භ කර ඇත.
  • විවෘත පදනමින් 384දෙනෙකු බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල 2022 වර්ෂයේ නිකුත් කර ඇති අතර ඊට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2024 නොවැම්බර්  මස පවත්වන ලදී. එම මූලික සම්මුඛ පරීක්ෂණයන්ට අදාළ ලිපිගොනු පරීක්ෂා කර ලකුණු සහිත උපලේඛන, ලිපිගොනු සමඟ ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කිරීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇත.
  • සීමිත පදනමින් 706දෙනෙකු බඳවා ගැනීමට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ  සම්මුඛ පරීක්ෂණ 2023 ජූලි මසදී පවත්වන ලද  අතර යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි මස පවත්වන ලදී.

එම සම්මුඛ පරීක්ෂණයන්ට අදාළ ලිපිගොනු පරීක්ෂා කර ලකුණු සහිත උපලේඛන ලිපිගොනු සමඟ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කර ඇති අතර  මේ වන විටත් එම ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

  • ඒ අනුව ඉහත පරිදි නිලධාරින් 1,090 බඳවා ගැනීමෙන් පසුව ද, තවදුරටත් පුරප්පාඩු 225ක් පවතින බවද, කාරුණිකව දන්වා සිටිමි.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks