04

E   |     |  

 දිනය: 2025-03-03   පිළිතුර ලබා දී ඇත 

0448/2025: අලි-මිනිස් ගැටුම පාලනය: ගෙන ඇති ක්‍රියාමාර්ග

448/2025

ගරු රුවන් විජේවීර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ සිටින මුළු වන අලින් සංඛ්‍යාව කොපමණද;

             (ii)      වර්ෂ 2020 සිට 2024 දක්වා අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය වන අලින් සහ වන ඇතුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

‍(iii) අලි-මිනිස් ගැටුමට බලපා ඇති මූලික හේතු සාධක කවරේද;

(iv) අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-03

අසන ලද්දේ

ගරු රුවන් විජේවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2011 දීප ව්‍යාප්ත වනඅලි සමීක්ෂණ වාර්තාව අනුව 5,879යි.

              (ii)     

වර්ෂය

මියගිය වනඅලි සංඛ්‍යාව

මිය ගිය ඇතුන් සංඛ්‍යාව

2020

328

04

2021

375

-

2022

439

10

2023

488

22

2024

388

17

 

 

 

 

 

 

 

 

 

 

(iii) වනඅලි ගැවසෙන ප්‍රදේශවල හා අවට ගම්මානවල සිදු කරන ඉඩම් පරිහරණ හේතුවෙන් විශේෂයෙන්ම හේන් වගා කිරීම, ගවයින් වනයට ඇතුළු කිරීම හා ගම්වාසීන් විසින් නීති විරෝධී ලෙස වනයට ඇතුළු වීම වැනි අවස්ථාවන්හිදී වනඅලි පහර දීම හේතුවෙන් වාර්ෂිකව සිදු වන මිනිස් මරණවලින් සියයට 50ක් පමණ මිනිසුන්ගේ නොසැලකිලිමත් බවෙන් සිදු වන මරණ බව පැහැදිලි වේ. තවද, රක්ෂිත ප්‍රදේශ ආසන්නයේ සිදු කරන වගා සඳහා අලින්ගේ ආකර්ෂණය හේතුවෙන් හා නිවාසවල වී ගබඩා කිරීම වැනි කරුණු නිසා දේපළ හානි හා ශාරීරික හානි වර්ධනය වී ඇති බව පැහැදිලි වේ.

(iv) • වනඅලි විසින් සිදු කරන වගා හානි, දේපළ හානි, ජීවිත හානි අවම කිරීම සඳහා 2024 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කර විදුලි වැට ඉදිකිරීමේ කටයුතු මේ වන තෙක් කිලෝමීටර  5,612ක ඉදිකර ඇති අතර, වනජීවී      කලාප දකුණ, ඌව, නැ‍ඟෙනහිර, මධ්‍යම, වයඹ, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වවුනියාව, කිලිනොච්චිය හා පොළොන්නරුව ආවරණය වන පරිදි කිලෝමීටර 588ක් ඉදි කරමින් පවතී.

• දැනට ඉදිකර ඇති විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් 4,005ක් යොදවා ඇත.

• වනඅලි හානි බහුලව සිදු වන ස්ථානවල වනඅලි පලවා හැරීම සඳහා මුරපොළවල් ස්ථාපිත කර සිවිල් ආරක්ෂක භටයින් 737ක් යොදවා ඇත.

• විදුලි වැට නඩත්තු කටයුතු හා ආරක්ෂාව සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයින් 3,647ක් දිවා රාත්‍රී අඛණ්ඩව විදුලි වැට නඩත්තුව හා ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බඳවා ගැනීමට කටයුතු සිදු කරමින් පවතී.

• වනජීවී කලාපවල වනඅලි විසින් සිදු කරන වගා හානි අවම කිරීමටත්, දෛනිකව වනඅලි පලවා හැරීමේ කටයුතු සඳහාත් වාර්ෂිකව 1,620,000ක් අලි වෙඩි මිලදී ගෙන බෙදා හැරීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා වියදම රුපියල් මිලියන 350කි.

• වනඅලි විසින් සිදු කරන ජීවිත හානි, දේපළ හානි වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා 2023 වර්ෂයේ රුපියල් මිලියන 380ක් හා 2024 වර්ෂයට අදාළව මේ දක්වා ලබා දී ඇති තොරතුරු අනුව රුපියල් මිලියන 372ක් ද ලබා දී ඇත.

• වනඅලින්ගේ සංචරණ රටාවන් හඳුනා ගැනීම සඳහා GPS කරපටි යොදවා විද්‍යාත්මක පර්යේෂණ සිදුකර ඇති අතර, මෙම දත්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ප්‍රදේශවල භාවිත කරමින් පවතී.

• හානිදායක වශයෙන් හඳුනා ගත් වනඅලි අල්ලා ඉවත් කිරීම සිදුකොට ඇත.

• වනඅලින්ගේ සංචරණවලට වන බාධා ඉවත් කිරීම සඳහා වනඅලි සංක්‍රමණ මාර්ග (අලිමංකඩ) හඳුනා ගැනීම හා ඒවායේ වනඅලින්ගේ සංක්‍රමණවලට සිදු වන බාධා ඉවත් කිරීමට හා ආරක්ෂා කිරීමට කටයුතු කරමින් පවතී.

• 2023 වර්ෂයේ සිට වනඅලින්ගෙන් සිදු වන ජීවිත හානි අවම කිරීම සඳහා කළමනාකරණ ක්‍රමවේද කලාප මට්ටමින් ප්‍රායෝගිකව අනුගමනය කර ගනිමින් වනඅලි විසින් ජීවිත හානි සිදු කරන ග්‍රාම නිලධාරි වසම් හඳුනා ගෙන ගම්වාසීන්, ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම් හා අදාළ ප්‍රාදේශීය සභා  සම්බන්ධ කර ගනිමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, වනඅලි සැරිසරන අතුරු මාර්ගයේ වනඅලි දර්ශනය වන අයුරින් යටි පඳුරු ඉවත් කිරීම හා අතුරු මාර්ගවල අඳුරු සහිත ස්ථානවල වීථි ලාම්පු සවි කිරීමට කටයුතු කර ඇත.

• වාසස්ථාන සුපෝෂණ කටයුතු 2023-2024

වර්ෂය

ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම (හෙක්ටෙයාර)

තෘණ භූමි කළමනාකරණය (හෙක්ටෙයාර)

මාර්ග දෙපස යටි රෝපණ ඉවත් කිරීම (හෙක්ටෙයාර)

ජල මූලාශ වැඩිදියුණු කිරීම (සංඛ්‍යාව)

2023

386.9

258.27

118.64

9

2024

105

222

365

5

 

• වනඅලි හානි අවම කිරීම සඳහා සාර්ථක හා අසාර්ථකභාවය අධ්‍යයනය සඳහා පහත සඳහන් නව තාක්ෂණය යොදා ගැනීම අත්හදා බලා ඇත.

1. ලංකාවේ දේශීය වශයෙන්  නිෂ්පාදනය කරන ලද energizers භාවිත කරමින් උඩවලව, අම්පාර, පුත්තලම යන ප්‍රදේශවල ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

2. අලින්ට අප්‍රිය පරිදි තරංග නිකුත් කරන උපකරණ භාවිත කරමින් අම්පාර, ගල්ගමුව, පොළොන්නරුව වනජීවී කලාපවල වනඅලි පලවා හැරීම හා වනඅලි ගම්මානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම උපකරණ යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කර ඇත.

3. නාවික හා ගුවන් හමුදාවන් සම්බන්ධ කරගෙන ඩ්‍රෝන යාත්‍රාවන් යොදා ගනිමින් වනඅලි පලවා හැරීමේ කටයුත්ත පුත්තලම, අනුරාධපුර, දකුණ යන වනජීවී කලාපවල සිදුකර ඇත.

4. මීමැසි පාලනය උපයෝගී කරගෙන මී මැස්සන්ගේ ශබ්ද තරංග භාවිත කරමින් මාදුරුඔය, අම්පාර කලාපවල මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.

5. කළුතෙල් කලවම් කර කඹ පිළිස්සීමෙන් ඇති වන දුම උපයෝගී කරගෙන වනඅලි විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදුකර ඇත.

6. උඩවලව ජාතික උද්‍යානයේ ප්‍රධාන විදුලි වැට කඩා බිඳිමින් ගම්මානවලට පැමිණෙන මාර්ග හඳුනා ගෙන එම ස්ථානවල කොන්ක්‍රීට් තැටි සකස් කර බිම ඇතිරීමෙන් අධ්‍යයනයක් සිදුකර ඇත.

7. ඖෂධ ගැල් වූ හඳුන්කූරු වර්ගයකින් නිකුත් වන දුම උපයෝගී කරගෙන වනඅලි විකර්ෂණය කිරීම සඳහා අත්හදා බැලීමක් සිදුකර ඇත.

8. දැනට භාවිත කරන විදුලි වැට ව්‍යුහයේ වැඩිදියුණු කිරීම් සිදුකර ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

(ආ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2025-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks